Gossips

අංජනගේ යෝජනාවට ගැමුණු එරෙහි වෙයි ?

ඉන්ධන මිල සූත්‍රය අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමෙන් බස් කර්මාන්තකරුවන් දැඩි අර්බුදයකට ලක්වන බව සමස්ත ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් පෙන්වා දෙන්නේ ඞීසල් මිල ඉහල දැමීම හේතුවෙන් කෙටි දුර ධාවන බස් රථයකට දෛනිකව රුපියල් 10,000කින් සහ දුරගමන් සේවා බස් රථයකට දෛනිකව රුපියල් 15,000ක පාඩුවක් සිදුවන බවයි.
නව ඉන්ධන මිල ගණන් සංශෝධනයට අනුව ඔටෝ ඞීසල් ලීටරයක් රුපියල් 99 සිට 103 දක්වා රුපියල් 04කින් සහ සුපිරි ඞීසල් ලීටරයක් රුපියල් 118 සිට 126 දක්වා රුපියල් 08කින්ද ඉහළ දැමුණා.
කෙසේ වෙතත්, පසුගිය මස 10 වනදා රැස්වූ ඉන්ධන මිල සුත්‍ර කමිටුව ඞීසල් ලීටරයක් රුපියල් 2කින් පහත දැමීමටයි කටයුතු කළේ.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඞීසල් මිල ඉහල දැමීම නිසා බස් කර්මාන්තකරුවන්ට පාඩු ලැබීමට සිදුවන බවත්, අද දහවල් සිය සංගමයේ මධ්‍යම කාරක සභාව රැස්වී මේ සම්බන්ධයෙන් සාකච්ජා කරන බවත්, සමස්ත ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත්, බස් ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතු ද යන්න සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ මේ මොහොතේ බස් ගාස්තු වැඩිවීමක් සිදුකිරීම අනවශ්‍ය බවයි.
සැබවින්ම මෙවර ඞීසල් ලීටරයක් ඉහළ ගොස් ඇත්තේ රුපියල් 2කින් පමණක් බව ද ඔහු කියා සිටියා.