Gossips

මන්ත්‍රී චමින්ද පොලීසියට භාර වෙයි ද?

පොලිස් නිලධාරියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මෙතෙක්් පොලීසියට භාර වී නොමැති බව වාර්තා වනවා.
මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා කථානායකවරයාගෙන් අවසර හිමිව ඇති අතර, ඔහු අද දින පොලීසියට භාර වන බව දැනුවත් කර තිබුණා.
කෙසේ වෙතත්, මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරන බවයි බණ්ඩාරවෙල පොලීසියේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ අතර, මන්ත්‍රීවරයාගේ ඇමති ආරක්ෂක අංශ පොලිස් නිලධාරියා ද අත්අඩංගුවට ගැනීම සඳහා ද මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ඊයේ දිනයේදී චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා බව බණ්ඩාරවෙල පොලීසියට අධිකරණයට දැනුම් දුන්නා.
එමෙන්ම, මන්ත්‍රීවරයාට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාශය මගින් කථානායකවරයා ද දැනුවත් කර ඇති බවයි පොලීසිය එහිදී කියා සිටියේ.
සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ රියදුරු ඊයේ අත්අඩංගුවට ගත් අතර, ඔහු මේ මස 18 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා.
මේ අතර, එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිගේ පහරදීමෙන් තුවාල ලැබූ බණ්ඩාරවෙල පොලීසියට අනුයුක්ත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කොස්තාපල්වරයා ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
එම පොලිස් කොස්තාපල්වරයා ගමන් ගත් වාහනයට බණ්ඩාරවෙල නගරයේදී මන්ත්‍රීවරයා ගමන් ගත් වාහනය ඉස්සර කර ඇති අතර, පසුව යළිත් කොස්තාපල්වරයා ගමන් කළ වාහනය මන්ත්‍රීවරයාගේ වාහනයට ඉස්සර කිරීමේ සිද්ධියක් මුල් කරගනිමිනුයි මෙම පහරදීම සිදුකර තිබුණේ.