Gossips

එම්.අයි. 17 හෙලිකොප්ටර් යානා පෙළක්, රුසියාවෙන් මිලදී ගැනීමට සාකච්ඡා

එම්.අයි. 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා පෙළක් රුසියාවෙන් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සාකච්ඡා පවත්වමින් සිටින බව එරට ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක, ස්පුට්නික් නැමැති රුසියානු වෙබ් අඩවියට ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු සඳහන් කර ඇත්තේ ජගත් සාම සාධක මෙහෙයුම්වල නිරතවීම සඳහා ශ්‍රී ලංකාව එලෙස මෙම බහු කාර්ය හෙලිකොප්ටර් යානා මිලදී ගැනීමට අදහස් කරන බවයි.
භාණ්ඩ ප්‍රවාහන, මගී ප්‍රවාහන, සෝදිසි මෙහෙයුම්, මුදා ගැනීම් මෙන්ම පියාසරන රෝහලක් ලෙස සහ ගිනි නිවන කටයුතු සඳහා යොදා ගත හැකි විවිධ ආකාරවලින් එම්.අයි. 17 හෙලිකොප්ටර් යානා නිෂ්පාදනය කෙරෙනවා.
ස්පුට්නික් වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කළේ එම්.අයි. 17 යානා ඇමරිකානු බ්ලැක් හෝක් හෙලිකොප්ටර් යානාවලට වඩා ප්‍රබල බව පෙන්ටගනය පවා පිළිගෙන ඇති බවයි.
ශ්‍රී ලංකාව 1990 දශකයේ ආරම්භයේ සිටම එම්.අයි. 17 හෙලිකොප්ටර් යානා මිලදී ගනු ලබන අතර, මේ වන විට එම යානා ලොව පුරා රටවල් 100කට වැඩි සංඛ්‍යාවක භාවිතයට ගැනෙනවා.
මොස්කව් නුවර ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක සඳහන් කර ඇත්තේ පසුගිය වසරේ සැප්තැම්බරයේ මෙරට ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් රුසියාවේ සංචාරය කළ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් මුලින්ම සාකච්ඡා කළ බවයි.
සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන අතර, ඒ සඳහා මෙතෙක් ගිවිසුමකට අත්සන් තබා නොමැති බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකාව රුසියාවෙන් එම්.අයි. 17 යානා කොතෙක් මිලදී ගැනීමට අදහස් කරන්නේ ද යන්න මෙතෙක් නිශ්චිතව කිව නොහැකි බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.