Gossips

විදුහල්පති තුන්වන ශ්‍රේණියේ විභාගයේ ප්‍රශ්න පත්‍ර මාරුකර දීලා

විදුහල්පති තුන්වන ශ්‍රේණිය සඳහා බදවා ගැනීමේ තරඟ විභාගයට පෙනී සිටි ගුරුවරුන් පිරිසකට අසාධාරණයක් සිදු වී ඇති බවට ශ්‍රී ලංකා අධ්‍යාපන සමාජ සම්මේලනය චෝදනා කරනවා.
එහි මහ ලේකම් සංකර් මනිවන්නන් කියා සිටියේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් ඊයේ දිවයින පුරා පැවැත් වූ විදුහල්පති තුන්වන ශ්‍රේණියේ තරඟ විභාගයට නුවරඑළිය ගුඩ්ෂෙඩ් විද්‍යාලයේ විභාග ශාලාවේ පෙනී සිටි ගුරු අයදුම්කරුවන්ට ප්‍රශ්ණ පත්‍රය මාරු කර දීම හේතුවෙන් දැඩි අසාධාරණයක් සිදු වී ඇති බවයි.
එම ශාලාවේ පැවති විභාගයට නුවරඑළිය දිස්ත්‍රික්කයේ අයදුම්කරුවන් 150කට ආසන්න පිරිසක් සහභාගි වී සිටි බවත් නියමිත ක්‍රමවේදයට පටහැනිව විභාග ශාලාධිපතිවරයා විසින් තුන්වන ප්‍රශ්න පත්‍රය ලබාදීම නිසා මෙම තත්ත්වය ඇති වූ බවත් ඔහු සඳහන් කළා.
මෙම ගැටළුව සම්බන්ධයෙන් විමසීමට විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට අවස්ථා කිහිපයකදී උත්සහ කළද එය ව්‍යර්ථ වුණේ ඔහු දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.
මේ අතර මෙම විභාගයට ජංගම දුරකථන සඟවාගෙන පෙනී සිටි පුත්තලම දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් තුන්දෙනෙකු සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
පුත්තලම ෆාතිමා බාලිකා විද්‍යාලයේ පැවති විභාග මධ්‍යස්ථානයේදී විභාගය ආරම්භවීමට සුළු කාලයක් තිබියදී මෙම අපේක්ෂකයින් සතුව තිබූ ජංගම දුරකථන මෙසේ සොයාගැනීමට විභාග දෙපාර්තමේන්තුවේ නිරීක්ෂන කණ්ඩායමට හැකිවුණා.