Gossips

මධුෂ්ට එරෙහිව ඩුබායි අධිකරණයේ නීති කටයුතු අරඹයි

ඩුබායි හිදී අත්අඩංගුවට පත්වූ පාතාල නායක මාකඳුරේ මධුෂ් ඇතුලූ සෙසු සැකකරුවන් සම්බන්ධයෙන් එරට අධිකරණ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව විදේශ අමාත්‍යාංශය පවසනවා.
විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා සරෝජා සිරිසේන අප කළ විමසීමකදී කියා සිටියේ අබුඩාබි සහ ඩුබායි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති අංශ එරට බලධාරීන් සමඟ අඛන්ඩව සම්බන්ධ වෙමින් අවශ්‍ය කටයුතු සඳහා සක්‍රීය දායකත්වයක් සපයමින් සිටින බවයි.
එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඩුබායි හි සිදුවන අධිකරණ කටයුතු පිළිබඳව විදේශ අමාත්‍යාංශය නිරන්තර අවධානයෙන් පසුවෙමින් තානාපති අංශ ඔස්සේ වාර්තා ලබාගන්නා බවද ඇය ප්‍රකාශ කළා.
මේ අතර මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටීමට නීතීඥ කණ්ඩායමක් මෙරටින් පිටත්ව ගිය බවට අද ජාතික පුවත්පත් වාර්තා කළා.
එමඟින් කියවුණේ අදාළ නීතීඥයන් සැකකරුවන් ද මුණ ගැසී ඇති බවයි.
මෙරට නීතීඥයෙකුට විදෙස් රටකදී සිය වෘත්තිය කටයුතු සිදුකළ හැකි සීමාව සම්බන්ධයෙන් අප නීතීඥ සංගමයේ හිටපු ලේකම් නීතීඥ අමල් රන්දෙණියගෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ විදෙස් රටක අත්අඩංගුවට පත්වන ශ්‍රී ලාංකික පුද්ගලයෙකු වෙනුවෙන් මෙරට නීතීඥයෙකුට අධිකරණයක් හමුවේ කිසිදු අවස්ථාවක පෙනී සිටිය නොහැකි බවයි.
ඔහුට කළ හැක්කේ සිය සේවාදායකයාට නීති උපදෙස් ලබාදීම පමණක් බවයි නීතීඥ අමල් රන්දෙණිය ප්‍රකාශ කළේ.
ඩුබායිහිදී මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී එම ස්ථානයෙන් පලාගිය බව කියන තවත් පාතාල නායකයෙකු වන අංගොඩ ලොක්කා ඩුබායි ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන ඇති බව අද වාර්තාවුණා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ඔහු සම්බන්ධයෙන්ද ඩුබායි බලධාරින් විසින් අවශ්‍ය නීතිමය පියවර ගනිමින් සිටින බවට වාර්තාවී ඇති බවයි.