Gossips

මධුෂ්ගේ තවත් ප්‍රබල අනුගාමිකයෙක් මට්ටක්කුලියේදී අල්ලයි – ‘‘ ඕළු මරාත්’’ අත්අඩංගුවේ

ඩුබායි හිදී අත්අඩංගුවට ගත් පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ ප්‍රබල සහයකයෙකු වන අන්දරේවත්තේ චාමර මට්ටක්කුලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අද උදෑසන පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදියි.
මොහු මිනිස් ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කප්පම් ලබාගැනීමේ සිද්ධීන් රැසකට සම්බන්ධ බවට අනාවරණ වී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.
සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයට භාරදී තිබෙනවා.
අත්අඩංගුවට ගත් මධූෂ්ගේ සමීපතමයෙකු වූ ජංගාගේ ඥාතියෙකු වන හමුදා සෙබළා සතුව තිබී නවීන ගිනි අවි පිළිබඳ මාර්ගෝපදේශන පොත් දෙකක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මාතර ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීයෙකු අප කළ විමසීමකදී සඳහන් කළේ මේ වනවිට සිදුකර ඇති පරීක්ෂණවලට අනුව මෙම මාර්ගෝපදේශන පොත් දෙක ඩුබායි සිට ගෙන්වා ඇති බවට අනාවරණ වී ඇති බවයි.
එමෙන්ම ජංගාගේ ගන්දර නිවසේ තිබී හමුවූ හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් සහ ටී 56 උණ්ඩ මෙම හමුදා සෙබලා විසින් සපයා ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද එම පොලිස් නිලධාරියා කියා සිටියා.
මාකඳුරේ මධුෂ් සමඟ අනුෂ්ක කවිශාල් හෙවත් ජංගා පසුගියදා ඩුබායි හිදී අත්අඩංගුවට පත්ව තිබුණා.
ඉන් පසුවයි පොලිස් විශේෂ කාර්ය බලකාය ඔහුගේ ගන්දර නිවස මෙලෙස පරීක්ෂාවට ලක් කළේ.
මේ අතර ඩුබායි හිදී අත්අඩංගුවට පත් රංගන ශිල්පී රයන් වෑන් රෝයන්ගේ මෝටර් රථයද හමුවුණේ මාතර – මිරිස්ස ප්‍රදේශයේ පාතාල සාමාජික සන්ෂයින් සුද්දාට අයත් හෝටලයක තිබියදියි.
ඒ පිළිබඳවද තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි පොලීසිය කියා සිටියේ.
ඩුබායි හි මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳ වන තිලිණි නිශායා තිලකරත්නට අයත් මෝටර් රථයක්ද සොයාගත්තා.
පොලීසිය පවසන්නේ මධුෂ් සමඟ සබඳතා පැවැත්වූ මාතර දිස්ත්‍රික්කයේ විවිධ පුද්ගලයින් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මක බවයි.
එමෙන්ම මේ වනවිටත් ප්‍රකාශ 12 ක් පමණ සටහන් කරගෙන ඇති බව පොලීසිය පවසනවා.
මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රණවීර ආරච්චිලාගේ ශානක මධුසංක හෙවත් ඕළු මරා ඇතුලූ 12 දෙනෙකු වෙන්නප්පුව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෙන්නප්පුව – සිරිගම්පල ප්‍රදේශයේදී ඊයේ ඕළු මරා විසින් මත්කුඩු අලෙවි කරන අවස්ථාවේදී ඒවා මිලදී ගැනීමට පැමිණි 11 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
එහිදී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 300 ක් පොලිස් භාරයට ගැනුනා.
ඕළු මරා මීට පෙර අවස්ථා කිහිපයකදීම මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වූ අයෙක්. ඔහු ඇතුලූ සැකකරුවන් අද මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.