Gossips

ක්‍රිකට් බිඳවැටීමට හේතුව මුරලි පහදයි

වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම ක්‍රීඩකයන්ද වානිජකරණය වී ඇති අතර, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව අභාවයට යමින් පවතින බව ලෝක පූජිත ප්‍රවීන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසනවා.
චෙන්නායි හිදී ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අද පිතිකරුවන්ට පන්දුවට පහරදීමේ ආරක්ෂිත ක්‍රම විධි අමතක වී ඇති බවයි.
මුරලිදරන් මෙහිදී ජාත්‍යන්තර තලයේ ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් පිළිබඳව අදහස් දැක්වූ අතර, ඉන්දීය නායක විරාට් කෝලි මේ වනවිට උපරිම තලයේ දස්කම් දක්වන බව සඳහන් කළා.
වයස අවුරුදු 29 ත් 34 ත් අතර ක්‍රිකට් ක්‍රීඩකයෙකුට උපරිම ශක්තිය පෙන්නුම් කළ හැකි බවත් ඉන් අනතුරුව කුසලතාවලට සරිලන පරිදි ශරීරය ප්‍රතිචාර නොදක්වන බවයි ඔහු ප්‍රකාශ කළේ.
ඇන්ජලෝ මැතිව්ස් අතිදක්ෂ ක්‍රීඩකයෙකු වුවද නිරන්තරයෙන් කායික ආබාධයට ලක්වීම කණ්ඩායමටද බලපා ඇති බව මුරලිගේ අදහසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අද මුහුණදෙන ගැටළුවලට ප්‍රධාන හේතුව පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය පහත වැටීම බව හින්දු පුවත්පතට අදහස් දක්වමින් මුරලිදරන් වැඩිදුරටත් කියා සිටියා.