Gossips

හින්දු සංවාද මණ්ඩපයේ සමාරම්භක දේශනය විපක්ෂ නායක මහින්දගෙන්

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඉන්දියාවේ බැංගලෝර් නුවර අයි.ටී.සී. ගාර්ඩිනියා හෝටලයේ අද ආරම්භ වන වාර්ෂික සංවාද මණ්ඩපයේ සමාරම්භක දේශනය පවත්වනු ලබනවා.
හින්දු පුවත්පත සංවිධාන කරන මෙම සංවාද මණ්ඩලයේ ප්‍රධාන ආරාධිතයාගේ දේශනය හෙට පවත්වන්නේ උප ජනාධිපති වෙන්කයියා නායිදු විසින්.
ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති රාජ්නාත් සිං, රාජස්ථාන් නියෝජ්‍ය ප්‍රධාන ඇමති සජින් පයිලට්, කර්ණාටක ප්‍රධාන අමාත්‍ය එච්.ඩී. කුමාරස්වාමි ඇතුළු දේශකයන් 35 දෙනෙකු අද සහ හෙට මෙහිදී දේශන ඉදිරිපත් කරනු ලබනවා.
ලෝක දේශපාලනය, ව්‍යාපාර, අධ්‍යයන, ක්‍රීඩා, විනෝදාස්වාද සහ කලා ශිල්ප ආදියෙහි දීප්තිමත් අදහස් දරන්නන් සංවාද මණ්ඩපයට සිය අදහස් ඉදිරිපත් කරනු ඇති බවයි හින්දු පුවත්පත වැඩිදුරටත් සඳහන් කළේ.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, මෙම සමුළුවේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අනාගත සබඳතා පිළිබද සිය දේශනය පවත්වනු ඇති බව විපක්ෂ නායක කාර්යාලය සඳහන් කළා.
එමෙන්ම සමුළුවට සහභාගි වන අනෙකුත් ප්‍රභූවරුන් මුණගැසීමට ද විපක්ෂ නායකවරයා අපේක්ෂා කරන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.