Gossips

පාර්ලිමේන්තුවේ ගැටුමට සම්බන්ධ 7කට නඩු

පාර්ලිමේන්තුව තුළ පසුගිය නොවැම්බර් මස ඇතිවූ ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරු හත් දෙනෙකුට අධිකරණයේ නඩු පැවරීමට අද රැස්වූ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව තීරණය කර තිබෙනවා.
එම ගැටුම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති අනිත් මන්ත්‍රීවරු 52 ට එරෙහිව නඩු පැවරීමක් සිදු නොකෙරෙන අතර ඔවුන්ට ලබාදෙන දඩුවම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව ඉදිරියේදී තීරණය කිරීමට නියමිතයි.
පසුගිය වසරේ නොවැම්බර් මස 14, 15 හා 16 යන දිනයන්හි පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා කතානායක කරූ ජයසූරිය මහතා විසින් නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රදානත්වයෙන් පත්කල කමිටුවේ වාර්තාව පසුගිය 22 වනදා කතානායකවරයා වෙත භාරදෙනු ලැබූවා.
එම වාර්තාවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 54 දෙනෙකුටල එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 04 දෙනෙකුට හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකුට චෝදනා එල්ලවී තිබුණා.
එලෙස චෝදනා එල්ලවුවද පාර්ලිමේන්තු වරප්‍රසාද හේතුවෙන් අදාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 59 දෙනාට එරෙහිව නඩු පැවරිය නොහැකි බව බොහෝ පාර්ශ්ව මත පලකර තිබූණා.
අද රැස්වූ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව මෙම ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් මන්ත්‍රීවරු 07 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රසන්න රණවීර, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පද්ම උදයශාන්ත යන මන්ත්‍රීවරුන් හට පොලිස් රාජකාරියට බාධා කිරීම, පොලිස් නිලධාරීන්ට අතින් පයින් සහ පුටුවකින් පහරදී තුවාල සිදුකිරීම සහ පාර්ලිමේන්තු සභා ගර්ඝය තුළදී මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කිරීම යන චෝදනාව යටතේ නඩු පැවරීමට නියමිතයි.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට සහ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම යන අයට සභා ගර්ඝයට පිහියක් රැගෙන ඒම සහ සාපරාධී බියගැන්වීම යටතේ නඩු පැවරෙනු ඇති.
පොදු දේපලක් වන කතානායකවරයාගේ මේසය මත ඇති මයික්‍රෆෝනය කඩා විනාශ කර රුපියල් තුන්ලක්ෂයක අලාභයක් සිදු කිරීම සම්බන්ධයෙන් ආනන්ද අලුත්ගමගේ සහ දිලුම් අමුණූගම යන මන්ත්‍රීවරුන්ට එරෙහිව නඩු පැවරීමට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව තීරණය කර තිබෙනවා.
චෝදනා එල්ලවී ඇති අනෙක් මන්ත්‍රීවරුන් 52 හට නඩු පැවරීමක් සිදු නොකරන අතර ඔවුන්ට ලබාදෙන දඩුවම ඉදිරියේදී තීරණය කිරීමට නියමිතයි.