Gossips

මීගමුවේ සංවර්ධන ව්‍යාපෘතියක් අතරතුර උණුසුම් තත්ත්වයක්

රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් මීගමුව ප්‍රදේශයේ අද ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘතියක් අතරතුර උණුසුම් තත්ත්වයක් හටගත්තා.
ඒ, අදාළ ව්‍යාපෘතියට පරිසර සංගමයක් විරෝධය පළ කිරීමත් සමඟින්.
රුපියල් මිලියන 123 ක වියදමින් මීගමුව කලපුව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ කලපුවේ රොන් මඩ ඉවත් කිරීමේ කටයුතු අද පෙරවරුවේ මීගමුව දූව ප්‍රදේශයේදී ආරම්භ කෙරුණේ ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන්.
මේ අතර උත්සවයෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටව යාමට සූදානම් වූ අවස්ථාවේදී මීගමුව කලපුව සුරැකීමේ සංවිධානයේ නියෝජිතයින් පිරිසක් රාජ්‍ය අමාත්‍යවරයාට සිය විරෝධය පළ කළේ මෙම ව්‍යාපෘතිය මගින් කලපුවේ ජෛව විවිධත්වයට දැඩි බලපෑමක් එල්ලවන බවට චෝදනා කරමින්.
කෙසේ වෙතත් එම නියෝජිතයින්ට ධීවරයින් විරෝධය පළ කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හටගත්තා.
උණුසුම් තත්ත්වය අතරතුරදී අමාත්‍යවරයා එම ස්ථානයෙන් නික්ම ගිය අතර පොලිසිය මැදිහත්වීමෙන් තත්ත්වය පාලනය කෙරුණා.
මේ අතර ව්‍යාපෘතියේ ආරම්භය සනිටුහන් කරමින් නිරාවරණය කළ දැන්වීම් පුවරුවේ එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක පළාත් සභා මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු මහතාගේ ඡායාරූපය සහ නම සඳහන් නොවීම හේතුවෙන් පසුව එය ගලවා ඉවත් කිරීමට කටයුතු කෙරුණා.