Gossips

ගායන ශිල්පී අමල් පෙරේරාගේ සොහොයුරාගේ, සහ රංගන ශිල්පී, රයන් වැන් රෝයන්ගේ, නිවෙස් පරීක්ෂාවට

පාතාල නායක මාකදුරේ මධූෂ් සමඟින් ඩුබායි හිදී අත්අඩංගුවට ගත් ගායන ශිල්පී අමල් පෙරේරාගේ සොහොයුරාගේ නිවස සහ රංගන ශිල්පි රයන් වැන් රෝයන්ගේ නිවස පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.
එහිදී මහරගම පිහිටි අමල් පෙරේරාගේ සොහොයුරාගේ නිවසේ තිබී කොකේන් හිස්කොපු දෙකක් සහ රයන් වැන් රෝයන්ගේ නිවසේ තිබී රහස් කුහරයක් සහිත ගමන් මල්ලක් මෙන්ම කුඩා ඩිජිටල් තරාදියක්ද සොයාගෙන තිබෙනවා.
එහිදී රංගන ශිල්පි රයන් වැන් රෝයන්ගේ සහෝදරයා අත්අඩංගුවට ගනු ලැබුවා.
මේ අතර, පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ගායන ශිල්පි අමල් පෙරේරාගේ සොහොයුරු සොහාන් පෙරේරාද අත්අඩංගුවට ගත් බවයි.
කෙසේ වෙතත්, හිරු ප්‍රවෘත්ති අංශය අමතමින් ගායන ශිල්පී අමල් පෙරේරාගේ සොහොයුරු සොහාන් පෙරේරා කියා සිටියේ තමාව කිසිදු අවස්ථාවක අත්අඩංගුවට ගැනීමක් සිදු නොකළ බවයි.
අත්අඩංගුවට ගත් පාතාල නායක මාකදුරේ මධූෂ් ඇතුළු පිරිස මේ වනවිට ඩුබායි හි පිහිටි අබිහිල් අල්මුල්ලා ප්ලාසාහි සිර මැදිරියක රඳවා සිටිනවා.
ඔහු ඇතුළු සෙසු සැකකරුවන්ගේ රුධිර සාම්පලද ඩුබායි පොලිසිය විසින් ලබාගෙන ඇත්තේ රුධිරයේ අඩංගු මත්ද්‍රව්‍ය පිළිබඳව නිගමනය කිරීම සඳහායි.
සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ් නමැති පාතාල කල්ලි සාමාජිකයා ඇතුළු මෙරට ප්‍රධාන පෙලේ පාතාල සාමාජිකයින් සිව් දෙනෙකු ඇතුළු 25 දෙනෙකු පසුගිය 5 වනදා අලූයම අත්අඩංගුවට ගනු ලැබුවේ ඩුබායි තරු 6 හෝටලයක සාදයක් පවත්වමින් සිටියදීයි.
එම සාදයට ජනප්‍රිය ගායන ශිල්පි අමල් පෙරේරා, ඔහුගේ පුත් නව පරපුරේ ගායන ශිල්පියෙකු වන නදීමාල් පෙරේරා සහ රංගන ශිල්පියෙකු වන රයන් වැන් රෝයන් ද එක්ව සිටියා.