Gossips

හෙට සහ අනිද්දා වැසි තත්වයේ වැඩි වීමක් – ඇතැම් ප්‍රදේශවලට ප්‍රභල අකුණු

හෙට (08) සහ අනිද්දා (09) දිනවලදී පවතින වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද රාත්‍රී කාලයේදීත් සබරගමුව මධ්‍යම බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
හෙට දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි බලාපොරොත්තු වනවා.
ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 75 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකියි.
නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන උදෑසන කාලයේදී ද සිහින් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවීමේ හැකියාවක් පවතිනවා.
ඇතැම් ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
ඒ අනුව අකුණු ඇතිවන අවස්ථාවල එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුල රැඳී සිටිය යුතුයි.
කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වලකින්නැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
අකුණු පවතින අවස්ථාවලදී රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වැළකිය යුතුයි.
එමෙන්ම බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වළකින ලෙසට ද දැනුම් දෙනවා.
තද සුළං හේතුවෙන් ගස් හා විදුලි රැහැන් බිම ඇද වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කළා.
හදිසි තත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහය ලබාගන්නා ලෙසටයි ජනතාවට දැනුම් දෙන්නේ.