Gossips

ඩුබායි වැටලීමේදී අංගොඩ ලොක්කා පැනගිය බවට තොරතුරු

මාකඳුරේ මධුෂ් ඇතුලූ පිරිස ඩුබායි හිදී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අංගොඩ ලොක්කා නැමති පාතාල නායකයාද එම හෝටලය තුළ රැඳී සිට ඇති බවට අනාවරණ වී තිබෙනවා.
අදාළ වැටලීම සිදුවන අවස්ථාවේදී සාදයට සහභාගිවෙමින් සිටි ඔහු දුම්වැටියක් පානය කිරීම සඳහා ඉන් පිටතට ගොස් ඇති අතර, එම අවස්ථාවේදියි මධුෂ් ඇතුලූ පිරිස අත්අඩංගුවට පත්ව ඇත්තේ.
කෙසේ වෙතත් පසුව ඔහු එම ස්ථානයෙන් පලාගොස් තිබෙනවා.
ඩුබායි හිදී අත්අඩංගුවට ගත් පාතාල නායක මාකඳුරේ මධුෂ් සම්බන්ධයෙන් ඩුබායි රාජ්‍යයද නීතිමය පියවර ගනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
මේ අතර අත්අඩංගුවට ගත් මාකඳුරේ මධුෂ් ඇතුලූ 25 දෙනාගෙන් ඩුබායි පොලීසිය තවදුරටත් ප්‍රකාශ ලබාගනිමින් සිටින බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.
එමෙන්ම අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් අතර, රාජ්‍යතාන්ත්‍රික ගුවන් බලපත්‍රයක් හිමි අයෙකු ද සිටින බවටද අද අනාවරණ වුණා. එරට පළවන කාලිජ් ටයිම්ස් පුවත්පත වාර්තා කලේ සාදය පැවත්වූ ස්ථානයේ සිටියදී මොහු ද අත්අඩංගුවට පත්ව ඇති බවයි.
මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුලූ මෙරට සිදුවු දරුණු ඝණයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රබල පාතාල නායකයෙකු වන මාකදුරේ මධුෂ් ඇතුලූ 25 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ දිනයේදියි.
ඩුබායිහි සුපිරි හෝටලයක පැවති මාකඳුරේ මධුෂ්ගේ පුත්‍රයාගේ උපන්දින සාදය අතරතුර ඩුබායි ආරක්ෂක අංශ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණා.
මෙම මෙහෙයුම සදහා පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ පොලිස් කණ්ඩායමක සහය හිමිවූ බවයි වාර්තා වන්නේ.
මධූෂ් සමග අත්අඩංගුවට පත්වූ පිරිස අතර, තවත් පාතාල කල්ලි සාමාජිකයන් හතරදෙනෙකු මෙන්ම ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ද සිටියා.
වාර්තා වී ඇති තොරතුරුවලට අනුව අත්අඩංගුවට ගත් පිරිස සතුව තිබී හෙරොයින්, කොකේන් ඇතුලූ මත්ද්‍රව්‍ය තොගයක් ද සොයාගෙන තිබෙනවා.
කෙසේ වෙතත් ගායන ශිල්පී අමල් පෙරේරාගේ සොහොයුරු සොහාන් පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අනුග්‍රාහකයෙකුගේ ඉල්ලීම මත තම සොහොයුරා සහ ඔහුගේ පුත්‍රයා මෙම සාදයට සහභාගිවී ඇති බවයි.
අද පාර්ලිමේන්තුවේදී මාකඳුරේ මධුෂ් සම්බන්ධයෙන් සහ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.
ඊට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ඔවුන් සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.
එමෙන්ම මාකඳුරේ මධුෂ් සම්බන්ධයෙන් ඩුබායි අධිකරණයෙන් අවශ්‍ය නෛතික කටයුතු සිදුකරනු ඇති බවද ඔහු එහිදී සඳහන් කළා.
මේ අතර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන අද පැවති උත්සවයකින් අනතුරුව කියා සිටියේ මාකඳුරේ මධුෂ් ඇතුලූ පිරිස අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් නිල දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.