Gossips

ඉදිරි පැය 8 තුල ප්‍රදේශ කිහිපයක අකුණු සමග තද වැසි

ඉදිරි පැය 08ක කාලය තුල සබරගමුව, බස්නාහිර පළාත්වලට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට ප්‍රබල අකුණු සහ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 කට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමඟ පැයට කිලෝමීටර 70 ත් 80 ත් අතර තද සුළං ද ඇතිවිය හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
අකුණු අනතුරු ඇතිවීමේ අවදානම සළකා ඒ සම්බන්ධයෙන් විමසිලිමත්ව කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අදාළ නිවේදනයෙන් ඉල්ලා ඇත්තේ.
ඒ අනුව අකුණු ඇතිවන අවස්ථාවල එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුල රැඳී සිටිය යුතුයි.
කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වලකින්නැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
අකුණු පවතින අවස්ථාවලදී රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වැළකිය යුතුයි.
එමෙන්ම බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වළකින ලෙසට ද දැනුම් දෙනවා.
තද සුළං හේතුවෙන් ගස් හා විදුලි රැහැන් බිම ඇද වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කළා.
හදිසි තත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහය ලබාගන්නා ලෙසටයි ජනතාවට දැනුම් දෙන්නේ.