Gossips

මධූෂ් සමඟ අත්අඩංගුවට ගත් අයෙක් ළඟ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක්

ඩුබායි හිදී ප්‍රබල පාතාල කල්ලි නායක මාකදුරේ මධුෂ් සමග අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් අතර, රාජ්‍යතාන්ත්‍රික ගුවන් බලපත්‍රයක් හිමි අයෙකු ද සිටින බව වාර්තා වනවා.
එරට පළවන කලිජ් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ සාදය පැවත්වූ ස්ථානයේ සිටියදී මොහු ද අත්අඩංගුවට පත්ව ඇති බවයි.
මේ අතර, ප්‍රබල පාතාල කල්ලි නායක මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සහ විදේශ අමාත්‍යාංශය ඩුබායි රාජ්‍ය සමඟ අද පෙරවරුව වනවිට රාජ්‍ය තාන්ත්‍රික සාකච්ජා ආරම්භ කර තිබෙනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුලූ මෙරට සිදුවු දරුණු ඝණයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රබල පාතාල නායකයෙකු වන මාකඳුරේ මධුෂ් ඇතුළු 25 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ දිනයේදියි.
ඩුබායිහි සුපිරි හෝටලයක පැවති උපන්දින සාදයක් අතරතුර ඩුබායි ආරක්ෂක අංශ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණා.
මෙම මෙහෙයුම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ පොලිස් කණ්ඩායමක සහය හිමිවූ බවයි වාර්තා වන්නේ.
මධූෂ් සමඟ අත්අඩංගුවට පත්වූ පිරිස අතර, තවත් පාතාල කල්ලි සාමාජිකයන් හතරදෙනෙකු මෙන්ම ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ද සිටියා.
වාර්තා වී ඇති තොරතුරුවලට අනුව මොවුන් සතුව තිබී හෙරොයින්, කොකේන් ඇතුලූ මත්ද්‍රව්‍ය තොගයක් ද සොයාගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රකාශ කළේ පසුගිය මාස 02 ක කාල සීමාව තුල මාකඳුරේ මධූෂ්ගේ චර්යා රටාවන් පිළිබඳව සිදුකල සමීප අධ්‍යනයකට අනුව ඩුබායි බලධාරින් සමඟ එක්ව ඊයේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකල බවයි.
අත්අඩංගුවට ගත් ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුලූ සෙසු පිරිස මධූෂ් සමඟ සෘජු සබඳතා පවත්වා ඇති බවට තොරතුරු ලැබී ඇති අතර, විමර්ශණ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ.
මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු සම්බන්ධයෙන් බලපවත්වනු ලබන්නේ ශ්‍රී ලංකාවේ නීතිය ද, එසේත් නොමැති නම් ඩුබායි නිතීය ද යන්න පිලිබඳව සංවාදයක් පවතිනවා.
කෙසේ වෙතත්, අතීතයේ යම් අවස්ථාවක ඩුබායි රාජ්‍ය සමග මෙවැනි අපරාධකරුවන් සම්බන්ධයෙන් කිසියම් හෝ නීතිමය එකඟතාවයකට පැමිණ ඇත්නම්, මධුෂ් ඇතුළු පිරිස ගෙන්වා ගැනීම අපහසු නොවන බවයි නීති විශාරදයන් පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත්, යම් ගිවිසුමක් නොමැති නම් නිතීපතිවරයාගේ උපදෙස් මත කඩිනමින් මෙම සැකකරුවන් ගෙන්වා ගැනීමට කටයුතු කල යුතු බවයි අධීනිතිඥ ගෝමීන් දයා ශ්‍රී සඳහන් කළේ.