Gossips

මධුෂ් ඇතුලු පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට, විදේශ සහ ආරක්ෂක අමාත්‍යාංශවල සහය

ඩුබායි ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් ප්‍රබල පාතාල නායකයෙකු වන මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් ඇතුලු පිරිස දිවයිනට ගෙන්වා ගැනීම සඳහා විදේශ සහ ආරක්ෂක කටයුතු අමාත්‍යාංශ එක්ව ඉදිරියේදී කටයුතු කරනු ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් ප්‍රකාශ කළා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් අදාළ අංශ වෙතට දැනුම්දී ඇති බවයි.
මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුලු මෙරට සිදුවූ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රබල පාතාල නායකයෙකු වන මාකඳුරේ මධුෂ් ඩුබායි හි සුපිරි හෝටලයකදී එරට ආරක්ෂක අංශ ඊයේ අත්අඩංගුවට ගත්තා.
ඔහු සමඟ ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයන් හතරදෙනෙකු ඇතුලූ 25 දෙනෙකු ද අත්අඩංගුවට ගැනුනු අතර, ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා සහ රංගන ශිල්පී රයන් වැන් රූයන් ද මේ අතර සිටිනවා.
මෙම අත්අඩංගුවට ගැනීම සඳහා මෙරට සිට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර, ඊට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව තිබෙනවා.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් ළඟ තිබී හෙරොයින් සහ කොකේන් ද සොයා ගනු ලැබුවා.
පාතාල නායක මාකඳුරේ මධුෂ් විසින් එම හෝටලය තුළ විශේෂ උපන්දින සාදයක් සංවිධාන කර තිබුණේ තම දෙවන බිරිඳට දාව උපන් පුතුගේ උපන් දිනය වෙනුවෙන්.
කලකට ඉහත මියගිය පාතාල සාමාජිකයෙකු වූ කළු තුෂාරගේ බිරිඳ මෙලෙස මධුෂ් සමඟ ඩුබායි හි වාසය කරන බව පරීක්ෂණවලදී අනාවරණ වී තිබුණා.
මෙම උපන් දින සාදය සඳහා ශ්‍රී ලංකාවෙන් පලාගොස් ඩුබායි හි සැඟව සිටින සියලුම පාතාල සාමාජිකයන් සහ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් රැසකට ආරාධනා කර තිබීමද විශේෂත්වයක්.
ඒ අනුව මාකඳුරේ මධුෂ් සමඟ අත්අඩංගුවට ගත් පිරිස අතර ප්‍රබල පාතාල සාමාජිකයින් වන කෙසෙල්වත්තේ දිනුක, කංජිපානි ඉම්රාන්, රණාලේ චුට්ටා සහ අංගොඩ සුද්දා ද සිටින බව සඳහන්.
මෙම පාතාල සාමාජිකයින් සමඟ අත්අඩංගුවට ගනු ලැබූ ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා, ඔහුගේ පුතු සහ රංගන ශිල්පියා, පාතාල නායක මධුෂ් සමඟ එහි රැඳී සිටියේ කුමන කාරණාවක් සම්බන්ධයෙන්ද යන්න පිළිබඳ විමර්ශන සිදු කෙරෙන බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.
පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්ගේ අධීක්ෂණය යටතේ තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.
මේ අතර, රුපියල් කෝටියකට අධික හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙකු මොරටුව – රාවතාවත්ත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහි අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් කියා සිටියේ රත්මලානේ රොහා නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සමීපතමයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.
කෙසේ වෙතත් සොයාගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය පිළිබඳ මෙතෙක් වාර්තාවී නැහැ.