Gossips

ජනතාවගේ හදවත් වලින් ගිලිහෙන ශ්‍රී ලංකා ක්‍රිකට්

අද වන විට අන් කවරදාටත් වඩා මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ජනතාවගේ හදවත් වලින් ගිලිහෙමින් පවතිනවා.
තවත් කල් නොයවා ඊට විසඳුමක් සොයා නොගතහොත් ක්‍රිකට්, මෙරට ජනතාවගේ හිතේ රැඳි මතකයක් පමණක් බවට පත් වනු ඇති.
දශක 4කට අධික ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය පුරා ක්‍රීඩකයන් ශක්තිමත් කළ ප්‍රධාන සාධකය බවට පත් වුණේ දිවා රෑ නොබලා උගුර ලේ රහ වනතුරු රට වෙනුවෙන් ජය ඝෝෂා නැගූ ක්‍රීඩා ලෝලීන් පිරිසයි.
කෙසේ වෙතත් පසුගිය වසර කිහිපය තුළ ක්‍රීඩා ලෝලීන් බොහෝ පිරිසකට ක්‍රිකට් එපා කරවන්නට මෙරට වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයන් පියවර ගත්තා.
දිගින් දිගටම පරාජය වූ සීමිත පන්දුවාර තරග හමුවේ ක්‍රීඩා ලෝලීන්ගේ එකම සැනසීම බවට පත්ව තිබූ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ද වල දමන්නට සූදානම් වන චන්දිමාල්, හතුරුසිංහ ප්‍රමුඛ නඩය ඊයේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ගෞරවය බහාලූ මිනී පෙට්ටියට අවසන් ඇණය ගසන්නට ද පියවර ගත්තා.
ලොව සියලුම රටවල් ඉහල වෘත්තීය මට්ටමක් තුළ ක්‍රිකට් ක්‍රීඩාව පවත්වාගෙන යද්දී මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ එකම වෘත්තීය ස්ථාවරයක් පවතින්නේ ගෙවීම් සඳහා පමණයි.
ඒ ශ්‍රේණියේ ගිවිසුම් හිමි ක්‍රීඩකයෙක් මසකට රුපියල් ලක්ෂ 40 ක පමණ වැටුපක් ලබන අතර ඊට අමතරව ටෙස්ට් තරගයක් සඳහා ක්‍රීඩකයෙක්ට රුපියල් ලක්ෂ 12 කට අධික ගෙවීමක් හිමිවනවා.
අවසන් ජාත්‍යන්තර තරග 30 දී ජයග්‍රහණ 7ක් පමණක් වාර්තා කිරීමට සමත් වූ පුහුණුකරු චන්දික හතුරුසිංහ ගේ මාසික වැටුප රුපියල් ලක්ෂ 70 කට අධිකයි.
නමුත් මෙරට වත්මන් ක්‍රීඩකයන් මෙන්ම පුහුණු කාර්යමණ්ඩලය ද තරගයක් තුළ දී කිසිදු වෘත්තිය භාවයක් පෙන්වා නැහැ.
මුළු රටක බලාපොරොත්තු වලට තබා තමන් ලබන වැටුපට හෝ සාධාරණයක් ඉටු නොකරන මෙවන් ක්‍රීඩකයන් සමග ක්‍රීඩාවේ අනාගතයක් පිලිබඳ දකින සිහින දවල් හීන පමණක් බව මෙරට ක්‍රීඩා ලෝලීන් පවා මේ වන විට තේරුම් ගෙන අවසන්.
මේ අතර අද දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ එළඹෙන දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලිය සඳහා දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් සහ නවක ක්‍රීඩකයන් කිහිපදෙනෙකුගෙන් යුතු සංචිතයක් නම් කළ බවයි.
රට දිනවීම වෙනුවට තම තැන රැක ගැනීම මූලික අරමුණ බවට පත් කරගත් ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් වෙනුවට දස්කම් සහිත නවක ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් පිරිසක් සමග ජාතික ක්‍රිකට් කණ්ඩායම අලුතින් හදන්නට මේ හොඳම කාලය බවයි අපගේ හැගීම.
මන්ද, ලැව් ගින්නක් නිවන්නට කෝප්පයකින් වතුර දමා පලක් නැති බව දැන්වත් ක්‍රිකට් බලධාරීන් තේරුම් ගත යුතුව තිබීම හේතුවෙන්.