අනාගත අභිවෘද්ධිය උදෙසා අපට අවශ්‍ය වනුයේ ස්වදේශිකත්වයෙන්ම පණ පෙවුණු අධ්‍යාත්මයන්ගෙන් යුත් ජනකායක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
අදට යෙදෙන ජාතික දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ ජාතික පුනර්ජීවනය ඇති කිරීමේ ලා අත්‍යවශ්‍ය වන දුගීභාවය සහ දූෂණය වහා මුලිනුපුටා දැමීමට අප සියල්ලන් එක්සිත්ව කටයුතු කළ යුතු බවයි.
පුරා වසර 133ක් බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයක් බවට පත් වූ අද දිනයේ අප සියල්ලන්ගේ ඒකායන අරමුණ විය යුත්තේ ලැබූ නිදහසේ උපරිම අර්ථය සාක්ෂාත් කර ගැනීම පිණිස නව දැක්මකින් අභිනව ජවයකින් සාමුහිකව කැපවීම බවයි ජනාධිපතිවරයා නිකුත් කළ නිදහස් දින පණිවුඩයේ දැක්වෙන්නේ.
එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජාතික දින පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ 71 වන ජාතික දිනය සමරන මේ අවස්ථාවේ දියුණු සමාජ දේශපාලන අවකාශයක සැබෑ නිදහස අත්විදින පුරවැසියන් ලෙස දිවි ගෙවීම සඳහා ශක්තිමත් ආර්ථිකයක්, ස්ථාවර රාජ්‍යයක් සමෘද්ධිමත් දේශයක් සඳහා එක්ව වැඩ කිරීමට සැමට ආරාධනා කරන බවයි.
නිදහස වඩාත් අර්ථවත් වීමට නම් යම් දේශයක ජන සමාජයක මනුෂ්‍යයා මෙන්ම සමස්ත පරිසරය ආර්ථික, සමාජ, දේශපාලන මෙන්ම අධ්‍යාත්මික සංහිදීම අයත් කර ගත යුතුයි.
ඒ සඳහා ක්‍රමවත් සැලැස්මක් සහ සාමුහික කැපකිරීමක් අත්‍යවශ්‍ය බවයි අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිදහස් දින පණිවුඩයේ දැක්වෙන්නේ.
මේ අතර, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ජාතික දින පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ අප, එකාවන්ව, එකමුතුව ලක් දෙරණ සත්‍ය වශයෙන්ම ස්වෛරීයව ස්වයං පෝෂිතව බාහිර අතපෙවීම්වලට අභීතව මුහුණ දිය හැකි රාජ්‍යයක් බවට පරිවර්තනය කරගත යුතු බවට වූ පණිවුඩය ඔබසැමට ලබාදීමට මෙය අවස්ථාවක් කර ගන්නා බවයි.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලැබීම නිදහස් දිනයෙන් කියා පෑවත්, සැබවින්ම ඉන් පිළිබිඹු වන්නේ අප එක් ධජයක් යට, එක් ජාතියක් ලෙස විවිධත්වය සවියක් කරගෙන නිදහස ලත් අභීත මිනිසුන් බවයි විපක්ෂ නායකවරයා නිකුත් කළ පණිවුඩයේ තවදුරටත් දැක්වෙන්නේ.
එමෙන්ම බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජින 71 වන ජාතික නිදහස් දින සැමරුමට සුබපැතුම් එක් කර තිබෙනවා.
ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ශ්‍රී ලාංකික ජනතාවට සතුට සහ සෞභාග්‍යය උදාවේවා යි තමන් සුබපතන බව ඇය සිය සුබපැතුම් පණිවුඩය මගින් ප්‍රකාශ කර තිබෙනවා.