පුත්තලම – කරුවලගස්වැව – නීලබැම්ම ප්රදේශයේදී අතුරුදන් වූ සිව් හැවිරිදි දැරිය තමන් විසින් කලාඔයට දැමූ බවට මව පාපොච්චාරණය කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මව දැරියට සිද්ධිය වූ දින පහරදීමක් සිදුකර ඇති බවයි.
පහරදීමෙන් දැරිය සිහිසුන් වී ඇති අතර, ඉන් බියට පත්වූ මව සිහිසුන් දැරිය කලාඔයට දැමූ බවටයි පොලීසියට පාපොච්චාරණය කර ඇත්තේ.
සැකකාර මව මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවන අතර අතුරුදන් දැරිය සොයා තවදුරටත් මෙහෙයුම් ක්රියාත්මකයි.
සෙනොරි නිශාරා නැමැති මෙම සිව් හැවිරිදි දැරිය කරුවලගස්වැව – නීලබැම්ම ප්රදේශයේ පිහිටි සිය නිවසේ සිටියදී, අතුරුදන්වූයේ පසුගිය 29 වනදායි.
දැරිය සොයා කිමිදුම්කරුවන් මීට පෙරද කලා ඔය පරීක්ෂා කළ අතර, ආරක්ෂක අංශ සහ ගම්වාසීන් විල්පත්තුව රක්ෂිතය තුළද සෝදිසි මෙහෙයුමක් ක්රියාත්මක කළා.
කෙසේ වෙතත් දැරිය පිළිබඳ කිසිදු තොරතුරක් එම පරීක්ෂණවලදී අනාවරණ වූයේ නැහැ.
දැරිය අතුරුදන්වූ දින ඇයගේ මිත්තනියගේ දෙවන විවාහයේ සැමියාද නිවසේ රැඳී සිට තිබුණා.
ඔහු ඇතුලු දැරියගේ පවුලේ සමීපතම ඥාතීන් පිරිසකගෙන් මීට පෙර පොලීසිය ප්රකාශ ලබාගත් අතර, එහිදී ගැටළුකාරී තත්ත්වයක් උද්ගතවූයේ ඔවුන්ගේ ප්රකාශ එකිනෙකට පරස්පර වීම හේතුවෙන්.