Gossips

රේගුව වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරයි

තමන් ගෙන යන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් දැඩි කිරීමට රේගු වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.
තම ඉල්ලීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය තවදුරටත් යහපත් ප්‍රතිචාරයක් ලබානොදීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බවයි එම සන්ධානය සදහන් කළේ.
මේ අතර, රේගු නිලධාරීන්ගේ අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක් මතුවිය හැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් සහ වෙළඳුන්ගේ සංගමය ප්‍රකාශ කළා.
රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ පී.එස්.එම්. චාල්ස් ඉවත් කර ඒ වෙනුවට නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු පත් කිරීමට එරෙහිව රේගු වෘත්තීය සමිති සන්ධානය පසුගිය 29 වනදා පස්වරුවේ සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළා.
රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය, රේගු අධිකාරී සංගමය, රේගු නිලධාරීන්ගේ සංගමය, බහාළුම් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය සහ රේගු නිෂ්කාශණය කරන්නන්ගේ සංගමය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්ව සිටිනවා.
මේ අතර, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් සහ වෙළඳුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු කියා සිටියේ මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත් පැවතුණහොත් ආහාර ද්‍රව්‍යවල හිඟයක් ඇති වීම වැළැක්විය නොහැකි වනු ඇති බවයි.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය පළ කිරීමට තම සංගමය තීරණය කළ බව වෘත්තීයකයින්ගේ ජාතික පෙරමුණ ද ප්‍රකාශ කළා.