Gossips

පුත්තලමේ දැරිය සොයා පොලීසියේ 150 ක් මෙහෙයුමක

පුත්තලම – කරුවලගස්වැව – නීලබැම්ම ගම්මානයේ සිටියදී අතුරුදන් වූ බවට පැවසෙන සිව් හැවිරිදි දැරිය සොයා විල්පත්තුව රක්ෂිතයේ සිදුකරන මෙහෙයුමට පොලිස් නිලධාරින් 150 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොදවා තිබෙනවා.
මේ වනවිට කිලෝමීටර් 15 කට ආසන්න ප්‍රමාණයක් රක්ෂිතයේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළත් එම දැරිය පිළිබද කිසිදු තොරතුරක් තවමත් අනාවරණ වී නැහැ.
එමෙන්ම, මෙම දැරිය සොයා කලාඔයෙහි, කල්පිටිය – විජය නාවික හමුදා කඳවුරේ කිමිදුම්කරුවන් අද දිනයේත් මෙහෙයුම් කටයුතු සිදුකළා.
එසේම, දැරියගේ මවගේ පාර්ශවයේ ඥාතීන්ගෙන් සහ පියාගෙන් ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකුගෙන් පමණ පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
එම ප්‍රකාශවල පරස්පරතා පවතින බවයි පොලීසිය සදහන් කළේ.
සෙනොරි නිශාරා නැමැති මෙම දැරිය අතුරුදන් වුයේ පසුගිය 29 වනදා පෙරවරුවේයි.
ඒ සම්බන්ධයෙන් දැරියගේ මව සාලියවැව පොලිසියට කළ පැමිණිල්ලක් අනුවයි මෙම දැරිය සෙවිමේ මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවේ.
දැරිය අතුරුදන් වන අවස්ථාවේදී නිවසෙහි රැඳී සිට ඇත්තේ දැරියගේ මිත්තණියගේ දෙවන විවාහයේ සැමියා පමණයි.
මෙම දැරියගේ පියා සිය පවුල අතහැර ගොස් වසර කිහිපයක් වන අතර, මිත්තණිය සහ ඇයගේ දෙවැනි විවාහයේ සැමියාට දැරියගේ සීයා ඝාතනය කිරිමේ චෝදනා ද එල්ල වී තිබෙනවා.
කෙසේ වෙතත්, ඊට අදාළව ඔවුන් දෙදෙනා වසර දෙකක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව මීට මාස කිහිපයකට පෙර නිදහස් වී පැමිණ ඇත්තේ ඝාතනය කර කලාඔයට දැමූ බව කියන දැරියගේ සීයාගේ මළ සිරුර සොයා ගැනීමට නොහැකිවීම හේතුවෙන්.
මෙම තත්ත්වයත් සමඟ ප්‍රදේශවාසීන් දැරියගේ මවට චෝදනා එල්ල කිරීම නිසා ඇයගේ ආරක්ෂාව සඳහා ඊයේ සාලියවැව පොලීසිය තුළ ඇය රදවා ගත් බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළා.

rn