Gossips

තරඟයේ දෙවන දිනය අවසන් – ශ්‍රී ලංකාව තවත් ලකුණු 411ක් පසු පසින්

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කැන්බරා හි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන අද දිනට තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03කට ලකුණු 123ක් රැස් කරගෙන සිටියා.
ආරම්භක පිතිකරු යුගලය වූ දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න පළමු කඩුල්ල සඳහා ලකුණු 80 ඉක්ම වූ සබඳතාවක් පවත්වාගෙන යද්දී, දිමුත් ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස්ගේ පන්දුවක් ගෙළ ප්‍රදේශයේ වැදීමෙන් තුවාල ලබා රෝහල් ගත කළා.
ඒ වන විට පන්දු 85කට මුහුණ දී ඔහු රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 46ක්.
අද දිනයේ ශ්‍රී ලංකා පළමු කඩුල්ල ලෙස ලහිරු තිරිමාන්න ලකුණු 41කට දැවී ගියා.
ඉන් අනතුරුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස්ට වැඩි වේලාවක් විකට්ටුවේ රැඳී සිටින්නට පැට් කමින්ස් ඉඩ ලබාදුන්නේ නැහැ.
සිය 24 වන උපන්දිනය අද දිනයේ සමරන කුසල් මෙන්ඩිස් පැට් කමින්ස්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදී දැවී ගියේ ලකුණු 06ක් ලබාගෙන සිටියදීයි.
දිමුත්ට හදිසියේ පිටියෙන් ඉවත්වීමට සිදුවීම හේතුවෙන්, පිටියට පිවිසි නායක දිනේෂ් චන්දිමාල් පළමු තරඟයේ මෙන් මෙම ඉනිමේ ද අසාර්ථක පිතිකරුවෙක් බවට පත් වුණේ කණ්ඩයමේ තමාට පැවරී ඇති වගකීම පිළිබදව යළි සිතා බලන්නට ඉඩ සලසමින්.
ටීම් පේනේ වෙත උඩ පන්දුවක් ලබාදී චන්දිමාල් දැවී යන විට ඔහු රැස්කරගෙන සිටියේ ලකුණු 15ක් පමණයි.
දෙවන දිනට තරඟය නතර කරන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි කුසල් ජනිත් පෙරේරා සහ ධනංජය ද සිල්වා පිළිවෙලින් ලකුණු 11ක් සහ එක් ලකුණක් ලබාගෙන සිටියා.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ඕස්ට්‍රේලියාවනු පළමු ඉනිමට වඩා තවත් ලකුණු 411ක් පසු පසින් සිටින්නේ කඩුලු 07ක් අතැතිවයි.
ඕස්ට්‍රේලියාව සිය පළමු ඉනිම සඳහා කඩුලු 5ක් දැවී ලකුණු 534ක් ලබාගෙන සිටියදී පන්දුවට පහරදීම අත්හිටුවනු ලැබුවා.
එහිදී ජෝ බර්න්ස් ලකුණු 180ක් ද, ට්‍රැවිස් හෙඩ් ලකුණු 161ක් ද ලබා ගත් අතර, කර්ටිස් පැටර්සන් නොදැවී ලකුණු 114ක් ලබා ගත්තා.
විශ්ව ප්‍රනාන්දු ලකුණු 126කට කඩුලු 3ක් බිද හෙලුවා.
දිමුත් කරුණාරත්න අබාධයකට ලක්වන අයුරු පහතින්..