Gossips

සාලියවැව දැරිය සොයා විල්පත්තුවේ මෙහෙයුමක්

පුත්තලම – කරුවලගස්වැව – නීලබැම්ම ගම්මානයේ සිටියදී අතුරුදන් වූ බවට පැවසෙන සිව් හැවිරිදි දැරිය සොයා විල්පත්තුව රක්ෂිතයේ තවත් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
ඒ සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.
මේ අතර, අතුරුදන් වූ දැරිය සොයා කලාඔයෙහි කල්පිටිය විජය නාවික හමුදා කඳවුරේ කිමිදුම්කරුවන් සිදුකරන මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකයි.
ඊයේ දිනය වන විට එම දැරියගේ මවගේ පාර්ශවයේ සහ මිත්තණියගේ පාර්ශවයේ ඥාතීන්ගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
නිල සුනඛයෙකු යොදා දැරිය අතුරුදන් වූ දිනයේදී පොලීසිය විමර්ශනයක් ආරම්භ කළ අතර එහිදී දැරිය ජීවත් වූ නිවසේ සිට මීටර් 800 ක් පමණ දුරින් පිහිටි කලාඔය අසලට අදාළ සුනඛයා ගොස් නැවතුණු බවයි පොලීසිය සඳහන් කළේ.
සෙනොරි නිශාරා නැමැති මෙම දැරිය අතුරුදන් වුයේ පසුගිය 29 වනදා පෙරවරුවේයි.
ඒ සම්බන්ධයෙන් දැරියගේ මව සාලියවැව පොලිසියට කළ පැමිණිල්ලක් අනුවයි මෙම දැරිය සෙවිමේ මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවේ.
දැරිය අතුරුදන් වන අවස්ථාවේදී නිවසෙහි රැදී සිට ඇත්තේ දැරියගේ මිත්තණියගේ දෙවන විවාහයේ සැමියා පමණයි.
ඔහු එම අවස්ථාවේදී නිවස ආසන්නයේ පිහිටා ඇති කලා ඔයට ගොස් ඇති අතර දැරිය කෑ ගැසූ ශබ්දය ඇසී යළි පැමිණි අවස්ථාවේදීයි ඇය අතුරුදන්ව සිටි බවයි ප්‍රකාශ කර ඇත්තේ.
මෙම දැරියගේ පියා සිය පවුල අතහැර ගොස් ඇති අතර, මිත්තණිය සහ ඇයගේ දෙවැනි විවාහයේ සැමියාට දැරියගේ සීයා ඝාතනය කිරිමේ චෝදනා ද එල්ල වී තිබෙනවා.
ඔවුන් දෙදෙනා මීට පෙර ඊට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස් වී පැමිණ ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම තත්ත්වයත් සමඟ ප්‍රදේශවාසීන් දැරියගේ මවට චෝදනා එල්ල කිරීම හේතුවෙන් ඇයගේ ආරක්ෂාව සඳහා ඊයේ (01) දිනයේ සාලියවැව පොලීසිය තුළ රදවා ගනු ලැබුවා.