Gossips

වතුකම්කරුවන්ගේ නව වැටුප ගැසට් කිරීම කල් යයි

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 700 දක්වා ඉහළ නැංවීමට අදාළව අත්සන් කළ ගිවිසුම ගැසට් කිරීම කල් දැමීමට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (01) පැවති සාකච්ඡාවේදී එකඟත්වයකට පැමිණි බව දෙමළ ප්‍රගතිශීිලි සන්ධානය ප්‍රකාශ කළා.
එහි සාමාජික අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියේ ඒ අනුව, පෙබරවාරි 5 වනදා වනතුරු එය ගැසට් කිරීම සිදුනොවන බවයි.
මෙම සාකච්ඡාවට දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක, අමාත්‍ය මනෝ ගනේෂන්ට අමතරව එහි සම නායකවරුන් ලෙස කටයුතු කරන අමාත්‍යවරුන් වන පලනි දිගම්බරන් සහ වී.රාධාක්‍රිෂ්ණන්ද එක්වුණා.
මේ අතර, මේ දිනවල උදෑසන කාලයේ මධ්‍යම කඳුකරයට පවතින දැඩි ශීත කාලගුණය සහ දිවා කාලයේ පවතින වියළි කාලගුණය නිසා තේ දළු වියළීමේ තත්ත්වය මත දිනක සම්පූර්ණ වැටුප වන රුපියල් 500 ලබා ගැනීමට ද වතු කම්කරුවන්ට නොහැකිවී තිබෙනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ මීට වතු සමාගම් මැදිහත් විය යුතු බවයි.
අප මේ සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමයේ සභාපති ලලිත් ඔබේසේකරගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ මෙම ගැටලුව වතු කම්කරුවන්, වතු සමාගම් සමඟ සාකච්ඡා කර විසඳා ගත යුතු බවයි.
වතු හාම්පුතුන්ගේ සංගමයට ඊට මැදිහත් විය නොහැකි බව ඔහු සදහන් කළා.