Gossips

රේගු වර්ජනය තුන්වන දිනටත් – වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් විරෝධය

තමන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය 03 වන දිනටත් අද සිදුකරන බව රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ පී.එස්.එම්.චාල්ස් ඉවත් කර ඒ වෙනුවට නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු පත් කිරීමට එරෙහිවයි රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පෙරේදා පස්වරුවේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේ.
රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය, රේගු අධිකාරී සංගමය, රේගු නිලධාරීන්ගේ සංගමය, බහාළුම් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය සහ රේගු නිෂ්කාශණය කරන්නන්ගේ සංගමය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්ව සිටිනවා.
මේ අතර, රේගු දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වන එච්.ජී.සුමනසිංහ පත් කළ බව මුදල් අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළා.
එහෙත් රේගු අධිකාරීවරුන්ගේ සංගමයේ සභාපති උදිත ජයසිංහ කියා සිටියේ එම නිලධාරීයාද රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයට සුදුස්සෙකු නොවන බවයි.
කෙසේ වෙතත්, කටුනායක ගුවන් තොටුපල, කොළඹ වරායේ මගී සේවා සහ අපනයන අංශයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන අතර, කඩිනම් විසඳුමක් නොලැබුනහොත් එම අංශවලද අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කරන්නේ.