Gossips

ඉතාලි යවන බව පවසා තරුණයන් සමග විවාහ වී මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට

ව්‍යාජ ලිපි ලේඛණ භාවිත කරමින් ඉතාලියට රැගෙන යන බව පවසා තරුණයන් සමග විවාහ වී මුදල් වංචා කර සැගවී සිටි කාන්තාවක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද අලුයම කටුනේරිය ප්‍රදේශයේ ලැගුම්හලකදී සැකකාරිය අත්අඩංගුවට පත්වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙම කාන්තාව දංකොටුව මාවතගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙක්.
දෙදරු මවක් වන ඇයගේ සැමියා පිළිබඳ තොරතුරක් නොමැති බව පොලිසිය සඳහන් කර තිබෙනවා.
ඉතාලියට රැගෙන යාමට බව පවසා තරුණයන් සමග විවාහ වී ඔවුන්ගෙන් මුදල් ලබාගෙන සිදු කළ වංචා කිහිපයක් පිළිබඳ ලැබී තිබු පැමිණිලිවලට අනුවයි විමර්ශණ සිදුකර තිබුනේ.
මෙම කාන්තාව තරුණයන්ගෙන් රුපියල් ලක්ෂ 5, 10, 15 සහ 17 වශයෙන් ලබාගෙන තිබු බව සඳහන්.
විමර්ශණවලදී සැකකාරිය සමග ජාවාරමේ නිරතවු බව කියන සැකකරුවන් 4 ක් සහ එක් කාන්තාවක් පසුගිය ඔක්තෝම්බර් 19 වනදා අත්අඩංගුවට ගෙන තිබුනා.
එම වැටලීම සිදුකරන විට ප්‍රධාන සැකකාරිය බංගදෙණිය ප්‍රදේශයේ ලැගුම්හලක නවාතැන්ගෙන සිට ඇති අතර පොලිසිය වැටලීම සිදුකරන විට ඇය එම ලැගුම්හලේ සේවකයෙකු සමග පළාගොස් තිබු බව සඳහන්.
සැකකාරිය විදේශගත වීමට සූදානම්වන බවට ලැබුනු තොරතුරකට අනුව සිදු කළ විමර්ශණයකින් අනතුරුවයි අද අලුයම ඇය අත්අඩංගුවට ගැනුනේ.
මෙම කාන්තාව අත්අඩංගුවට පත්වූ බවට සැලවීමත් සමග ඇය සමග විවාහ වී මුදල් වංචාවන්ට හසුවූ තරුණයන් 8 දෙනෙකු ද මාරවිල පොලිසියට පැමිණ තිබු බව අප වාර්තාකරු සඳහන් කළා.
ව්‍යාජ නමකින් පෙනී සිටි මෙම කාන්තාව එම නමින් ජාතික හැඳුනුම්පත් මෙන්ම උප්පැන්න සහතික ද සකස්කර තිබී ඇතැයි සඳහන්. එමෙන්ම ඉතාලියට යාම සඳහා ව්‍යාජ වීසා ද සකස්කර ඇති බවටයි විමර්ශණවලදී හෙළිවී ඇත්තේ.