Gossips

ශ්‍රී ලංකාවෙන් සොයාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගයට අදාළව බංග්ලාදේශයේදී 5ක් අත්අඩංගුවට

මෙරටදී සොයා ගැනුනු විශාලතම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ බංග්ලාදේශ මත්ද්‍රව්‍ය මර්දන පොලිස් බලකාය, බංග්ලාදේශ ජාතිකයන් පස්දෙනෙකු එරටදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊට කාන්තාවන් තුන්දෙනෙකුද ඇතුළත් වන බවයි බංග්ලාදේශ මත්ද්‍රව්‍ය මර්දන පොලිස් ඒකකයේ ප්‍රකාශකයෙකු එරට මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් වයස අවුරුදු 23 ත්, 29 ත් අතර වයස්වල පසුවන අයයි.
මෙහෙයුම් සිදුකළ බංග්ලාදේශ විශේෂ පොලිස් ඒකකය මගින් ඔවුන් සන්තකයේ තිබී මත්පෙති 1970 ක්, විදේශ මුදල් නෝට්ටු සහ ගමන් බලපත්‍රද සොයාගෙන ඇති බව බංග්ලාදේශ මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
ඔවුන් තමන් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයකට සම්බන්ධ බව මූලික පරික්ෂණවලදී අනාවරණ කර ඇති බව සඳහන්.
එම ප්‍රශ්න කිරීම්වලදී හෙළිදරව් වී ඇති තවත් කරුණක් වන්නේ ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගැනුනු බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනා පසුගිය දෙසැම්බර් 23 වනදා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.
පසුගිය වසරේ දෙසැම්බර් 31 වන දා දෙහිවල ප්‍රදේශයෙන් රුපියල් මිලියන 3336කට ආසන්න වටිනාකමකින් යුත් මෙරට ඉතිහාසයේ විශාලතම හෙරොයින් තොගය වන කිලෝග්‍රෑම් 278 ක් සමගින් බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
එසේම රුපියල් මිලියන 75කට අධික කොකේන් කිලෝග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් ද එම නිවස තුළ තිබී සොයා ගැනුණා.
එම බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනා රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලිීසියට අවසර ලබා දුන් අතර, බංග්ලාදේශයෙන් පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් මගින්ද ඔවුන්ගෙන් ප්‍රශ්න කර තිබුණා.
මේ අතර පසුගියදා කොල්ලූපිටිය ප්‍රදේශයේදී රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් විදේශිකයින් තුන්දෙනා ඇතුලූ සැකකරුවන් පස්දෙනා ලබන මස 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ ඔවුන් කොළඹ කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට අද ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදියි.