Gossips

ගිවිසුම බොරුවක් – වතු සේවක වැටුප් වැඩි වී ඇත්තේ රුපියල් 10කින්

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වූ නව අවබෝධතා ගිවිසුමට අනුව වැටුප් වැඩිවී ඇත්තේ රුපියල් 10කින් පමණක් බව කම්කරු අරගල මධ්‍යස්ථානය පවසනවා.
එහි සංවිධායක ලේකම් දුමින්ද නාගමුව සඳහන් කළේ අත්සන් තැබුණු ගිවිසුම කිසිසේත් පිළිනොගන්නා බවයි.
අදාළ ගිවිසුමට ඊයේ (28) අත්සන් තැබුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදීයි.
එම අවස්ථාවට වතු හාම්පුතුන්ගේ සංගමය සහ වතු ඒකාබද්ධ වෘත්තීය සමිති කිහිපයක් එක්ව සිටියා.
අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමට අනුව වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 700ක් ලෙස ඉහළ නැංවෙන අතර, තේ මිල අනුව රුපියල් 50ක මුදලක් ද, අමතර තේ දළු කිලෝවකට රුපියල් 40ක් ද හිමි වනු ඇති.
මීට අමතරව වතු කම්කරුවන්ගේ මාස 3ක හිඟ වැටුප් ගෙවීමට ද, වසර දෙකකට බල පැවැත්වෙන පරිදි අත්සන් තබා ඇති නව අවබෝධතා ගිවිසුම යටතේ එකඟ වී තිබෙනවා.
කෙසේ වෙතත්, කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව සඳහන් කළේ වතු කම්කරුවන් රවටමින් රුපියල් 10කින් පමණක් වැටුප් වැඩි කර ඇති බවයි.