Gossips

වතු කම්කරු විරෝධතා මැද, නව ඒකාබද්ධ ගිවිසුමට අත්සන් තබයි

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වූ නව අවබෝධතා ගිවිසුමට අද අත්සන් තැබුණා.
ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදීයි.
එම අවස්ථාවට වතු හාම්පුතුන්ගේ සංගමය සහ වතු ඒකාබද්ධ වෘත්තීය සමිති කිහිපයක් එක්ව සිටියා.
අද අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමට අනුව වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 700ක් ලෙස ඉහළ නැංවෙන අතර, තේ මිල අනුව රුපියල් 50ක මුදලක් ද, අමතර තේ දළු කිලෝවකට රුපියල් 40ක් ද හිමි වනු ඇති.
මීට අමතරව වතු කම්කරුවන්ගේ මාස 3ක හිඟ වැටුප් ගෙවීමට ද, වසර දෙකකට බල පැවැත්වෙන පරිදි අත්සන් තබා ඇති නව අවබෝධතා ගිවිසුම යටතේ එකඟ වී තිබෙනවා.
කෙසේ වෙතත්, අද අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුමට විරෝධය පළ කරමින් හැටන් ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක වතු කම්කරුවන් තවදුරටත් විරෝධතාවල නිරත වුණා.
රාජගිරියේ පිහිටි වතු හාම්පුතුන්ගේ සංගම් කාර්යාලය ඉදිරිපිට දහසේ ව්‍යාපාරය ද විරෝධතාවයක නිරත වූයේ අද අත්සන් තැබුණු නව ගිවිසුමට විරෝධය පළ කරමින්.
එහිදී විරෝධතාකරුවන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ද හට ගත්තේ තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය මැදිහත්වීමත් සමඟයි.
සිය දෛනික මූලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙසට ඉල්ලමින් හැටන් – නගරයේ ද විරෝධතාවක් පැවැත්වුණු අතර ඒ හේතුවෙන් හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගය හැටන් – මල්ලිඅප්පු මංසන්ධියෙන් තාවකාලිකව වසා දැමීමටයි පොලීසිය කටයුතු කළේ.