Gossips

විමල් වීරවංශ සී.අයි.ඩී.යට එයි

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.
ඒ, ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට අදාළව ඉන්දීය ජාතිකයා හෙලි කළ කරුණු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමටයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ සහ ඔහුගේ බිරිඳ වන ශෂී වීරවංශගෙන් ප්‍රකාශ ලබාගැනීමට කටයුතු කරන බවයි පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පසුගිය සතියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ අදාළ ප්‍රකාශය ලබාදුන්නා.
තමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ සහ ඔහුගේ බිරිඳ හමුවීම සඳහා ඔවුන් රැඳී සිටි ස්ථානවලට ගිය බවයි අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ඉන්දීය ජාතිකයා ප්‍රකාශ කර තිබුණේ.
ඔහු සිදුකර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශද අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදීමට නියමිත බව වාර්තාවනවා.
මෙම ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ද අත්අඩංගුවට ගැනුනු අතර, ඔහු අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිනවා.