Gossips

700 එපා – 1000ම ඕනෑ – වතුකම්කරුවන් තවදුරටත් විරෝධයේ

වතු කම්කරුවෙකුගේ දෛනික මූලික වැටුප රුපියල් දහස දක්වා ඉහළ දමන ලෙස ඉල්ලමින් සහ අවබෝධතා ගිවිසුමට අත්සන් නොකරන ලෙසට බල කරමින් වතු කම්කරුවන් අදත් විරෝධතාවයේ නිරතවුණා.
බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් අද (27) උදෑසන 7.30 සිට පැය 5ක පමණ කාලයක් හැටන් – බලංගොඩ ප්‍රධාන මාර්ගය හරස් කරමින් උද්ඝෝෂණයේ නිරතවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ල වුණා.
විරෝධතාවය පැවැත්වෙන කාලය තුළ බගවන්තලාව ප්‍රදේශයට අමතර පොලිස් බලඇණි සහ පොලිස් කැරළි මර්දන ඒකකය ද කැදවා තිබුණා.
වතු හාම්පුතුන්ගේ සංගමය, වතු ඒකාබද්ධ වෘත්තිය සමිති සහ රජය ඒකාබද්ධව ප්‍රකාශයට පත් කළ වැටුප් වැඩිවීම පිලිගත නොහැකි බවයි මෙහිදී විරෝධතාකරුවන් කියා සිටියේ.
එමෙන්ම හැටන් ප්‍රදේශයේදී අද (27) මාධ්‍ය හමුවක් කැදවමින් සමස්ත ලංකා හින්දු – ගුරු සභාවේ ලේකම් ශිවසුරේෂ් ශර්මා චෝදනා කළේ වතු කම්කරුවන්ට සාධාරණ වැටුප් වැඩිවීමක් ලබාදී ඇති බව පවසමින් වෘත්තීය සමිති, වතු කම්කරුවන් මුලා කර ඇති බවටයි.
මේ අතර, වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙසට බලකරමින් පසුගියදා විරෝධතා සංවිධාන කළ දහසේ ව්‍යාපාරය ද කොළඹ දී අද (27) මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.
එමෙන්ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක, මස්කෙලිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති පෙරියසාමි ප්‍රදීපන් ද අද (27) හැටන් ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් කැදවමින් කම්කරුවන් ගෙන යන අරගලය සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.
මේ අතර, හාම්පුතුන් විසින් වතු කම්කරුවන්ට ගෙවීමට එකඟ වන වැටුප ප්‍රමාණවත් නොවන්නේ නම්, ආණ්ඩුව ඉතිරි හිඟ මුදල ගෙවීමට කටයුතු කළ යුතු බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසනවා.
එහි සභාපති කේ.ඩී. ලාල්කාන්ත මේ බව කියා සිටියේ කොළඹ අද (27) පැවති සමුළුවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.