Gossips

දඹුල්ලේ එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

පුද්ගලයෙකුට පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දඹුල්ල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු ලබන මස 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඊයේ පස්වරුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රියරංජන කුමාර නමැති ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්.
පසුගිය 17 වනදා රාත්‍රියේ සීගිරිය – කලාපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සීගිරිය පොලීසියට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කරන අවස්ථාවේ මෙම මන්ත්‍රීවරයා තවත් පුද්ගලයෙකු සමග පැමිණ පොලීසිය තුලදීම මෙම පහරදීම සිදුකර තිබූ බවයි පොලීසිය සදහන් කළේ.
පහරකෑ පුද්ගලයා මෙම මන්ත්‍රීවරයාට මුහුණුපොත හරහා අවස්ථා කිහිපයකදී අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පහරදීම සිදුකර ඇති බව හිරු වාර්තාකරු සදහන් කළා.
සිද්ධියෙන් පසු සැකකාර මන්ත්‍රීවරයා ප්‍රදේශයෙන් පලාගොස් සිටි බව ද පොලීසිය සදහන් කළා.
කෙසේ වෙතත්, ඔහු ඊයේ පස්වරුවේ පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දඹුල්ල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ නියෝග කර තිබෙනවා.
මන්ත්‍රීවරයා සමග අත්අඩංගුවට ගත් සංචාරක හෝටල් හිමියෙකු වන අනෙක් පුද්ගලයා ඇප මත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කර ඇත්තේ.