Gossips

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු අද හමුදාපති හමුවෙයි

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යයේ අමාත්‍ය ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කරමින් සිටියදී මෙරටට කැඳවූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු අද (26) යුද හමුදාපතිවරයා හමුවීමට නියමිතයි.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සඳහන් කළේ අද (26) දිනයේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මුණ ගැසී විශේෂ සාකච්ඡාවක නිරත වන බවයි.
පසුගිය කාලසීමාව තුළ කථාබහට ලක්වූ සිද්ධීන් පිළිබඳව බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු විසින් යුද හමුදාපතිවරයා වෙත කරුණු පැහැදිළි කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මෙරටට කැඳවනු ලැබුවේ ඔහුගේ ආරක්ෂාව පිළිබඳවද අවධානය යොමු කිරීමෙන් පසුව බව යුද හමුදාපතිවරයා සඳහන් කළා.
ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති අතර, මෙවැනි සිදුවීමකදී සාමාන්‍ය සම්ප්‍රදාය අනුව සිදුවන කරුණු විමසා බැලීමක් මෙහිදී සිදුවන බවයි යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වැඩිදුරටත් කියා සිටියේ.
පසුගිය පෙබරවාරි 4 වනදා ලන්ඩනයේ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගේ විරෝධතාවක් අතරතුර බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ලබාදුන් සංඥාවක් සම්බන්ධයෙන් කථාබහට ලක්වූ අතර, පසුව විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් බ්‍රිගේඩියර්වරයා සාමාන්‍ය සේවා කටයුතුවලින් ඉවත් කර තිබුණා.
පසුව ඔහු යළි සාමාන්‍ය සේවා කටයුතුවල පිහිටවනු ලැබුවේ ජනාධිපතිවරයාගේ උපදෙස් මතයි.
මේ අතර යුද හමුදාව සතුව තිබූ ඉඩම් වලින් සියයට 76ක් මේ වන විට මුල් අයිතිකරුවන් වෙත ලබාදී ඇති බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසනවා.
යුද හමුදාපතිවරයා මේ බව කියා සිටියේ වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ ඊයේ (25) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින්.