Gossips

සේනා නසන්න අද සිට ගෙයින් ගෙට

සේනා දළඹුවාගෙන් වැඩි වශයෙන් හානියට පත්ව ඇත්තේ නියමිත කාලයට පසුව වගා කළ බඩ ඉරිඟු වගාවන් බව මේ වන විට අනාවරණ වී තිබෙනවා.
මේ අතර, ජනාධිපතිවරයාගේ උපදෙස් මත සේනා දළඹු මර්දනය සඳහා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ගොවීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් අද (26) ආරම්භ කළා.
ඒ අනුව මහවැලි බල ප්‍රදේශවල ගෙයින් ගෙට ගොස් මෙම වැඩසටහන අද සිට සතියක් පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි මහවැලි අධිකාරියේ කෘෂි අධ්‍යක්ෂ නෙවිල් රාජපක්ෂ කියා සිටියේ.
මේ අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කීට විද්‍යාඥ ඒ.එස්. හේමචන්ද්‍ර කියා සිටියේ සේනා දළඹුවන් සමූල ඝාතනය කිරීමේ හැකියාවක් නොමැති බවයි.
කෙසේ වෙතත්, සේනා දළඹුවාගෙන් සිදුවන හානිය මේ වනවිට පාලනය වී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එහි අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ දළඹු මර්දනයට ගනු ලැබූ ඇතැම් ක්‍රියාමාර්ග හේතුවෙන් සේනා දළඹුවාගෙන් සිදුවන හානි අවම වී ඇති බවයි.
එහෙත් යළිත් මෙම උවදුර උත්සන්න වීමට ඉඩ ඇති බැවින් අදාළ පාර්ශවයන් එම උවදුර පාලනය කිරීම සදහා හැකි උපරිමයෙන් කටයුතු කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.
බඩඉරිඟු වගාවට මූලික වශයෙන් හානි සිදුකරන මෙම දළඹු විශේෂය පසුව, කුරක්කන් වගාවට, වී වගාවට මෙන්ම, තවත් බොහෝ වගාවන්වලට හානි සිදුකර ඇති බවට ගොවීන් ප්‍රකාශ කර සිටියා.
මේ අතර, ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් කෙසෙල් වගාවට ද හානි සිදුකරන සේනා දළඹුවාට සමාන දළඹු විශේෂයක් පිළිබදව වාර්තා වූ අතර, ඔවුන් කෙසෙල් වගාවේ පත්‍රවලට විශාල වශයෙන් හානි සිදුකර තිබුණා.