Gossips

පැට් කමින්ස් ශ්‍රී ලංකා දෙවන ඉනිම සුණු විසුණු කර දමයි – ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දියාරු පිතිකරණය හමුවේ ඕස්ට්‍රේලියාවට විශිෂ්ඨ ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර පැවති පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරඟය ජය ගන්නට ඕස්ට්‍රේලියාව අද (26) සමත් වුණේ තරඟය අවසන්වීමට තවත් දින දෙකක් ඉතිරිව තිබියදීයි.
ශ්‍රී ලංකාව පරදා ඕස්ට්‍රේලියාව මෙම තරඟය ජයගත්තේ ඉනිමකින් සහ ලකුණු 40කින්.
තරඟයේ තුන්වන දිනය වූ අද දිනට තරඟය ආරම්භ කරන විට දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 17ක් ලබා සිටියා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට සිය දෙවන ඉනිම සඳහා සියල්ලන් දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 139ක් පමණයි.
තරඟය ආරම්භ කරමින් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 144 ක් රැස් කළා.
ඊට පිළිතුරු වශයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා රැස්කළ ලකුණු සංඛ්‍යාව 323 ක්.
ඉනිමක පරාජයෙන් ගැලවීමට වෙනුවෙන් පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දියාරු පිතිකරණ රටාව පළමු ඉනිමේදී මෙන් දෙවන ඉනිමේදී කැපී පෙනුණා.
දෙවන ඉනිමේදී ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ තරමක් හෝ සාර්ථක වූ එකම පිතිකරුවා වූයේ ලහිරු තිරිමාන්නයි.
ඔහු ලකුණු 32ක් රැස්කළ අතර සෙසු කිසිඳු ශ්‍රී ලංකා පිතිකරුවෙකුට ලකුණු 30 සීමාව පසුකර යෑමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.
ආක්‍රමණශීලි පන්දු යැවීමක නිරතවූ පැට් කමින්ස් ලකුණු 15කට ශ්‍රී ලංකා දෙවන ඉනිමේ කඩුලු 06ක් බිඳ දැමුවා.
ඔහු ශ්‍රී ලංකා පළමු ඉනිමේදී ද කඩුලු 04ක් දවා ගත් අතර තරඟයේ වීරයා බවට පත් වුනේද පැට් කමින්ස්.
මෙම ජයත් සමඟ තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය තරඟ එකට බිංදුවක් ලෙස ඕස්ට්‍රේලියාව පෙරමුණ ගත්තා.