Gossips

පාර්ලිමේන්තු ගැටුම සම්බන්ධ වාර්තාව පක්ෂ නායකයින්ට

පාර්ලිමේන්තුවේ පසුගියදා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් කථානායකවරයාට භාරදුන් වාර්තාව ඉදිරියේදී පක්ෂ නායකයින් වෙත යොමු කිරීමට නියමිතයි.
ඒ අනුව නුදුරු දිනයකදී පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට එම වාර්තාව යොමු කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ.
අදාළ වාර්තාවට අනුව මන්ත්‍රීවරුන් 25 දෙනෙකුට වැඩි පිරිසකට චෝදනා එල්ල වී තිබෙනවා.
මිරිස් කුඩු ගැසීම, දේපළවලට හානි කිරීම සහ පොලීසියේ රාජකාරියට බාධා කිරීම ඇතුලූ විවිධ කරුණු ඔස්සේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට චෝදනා ගොනුකර ඇති නමුත්, ඔවුන්ට ලබාදිය හැකි දඩුවම පිළිබඳව එම වාර්තාවේ සඳහන්ව නොමැති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ.
පසුගිය පෙබරවාරි පාර්ලිමේන්තුවේ සම්මත වූ නව ස්ථාවර නියෝග අනුව මෙවන් අවස්ථාවකදී සති දෙක, තුන හෝ මසක කාලයකට මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සැසිවාරය තහනම් කිරීම කථානායකවරයාට හැකියාව පවතිනවා.
කමිටු වාර්තාවට අනුව මිරිස් කුඩු ගැසීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තුන්දෙනෙකුට චෝදනා එල්ල වන අතර පාර්ලිමේන්තු සභා ගැබට පිහි ගෙන ඒම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට චෝදනා එල්ල වන බවයි වාර්තා වන්නේ.
අදාළ වාර්තාව කථානායකවරයා මේ දිනවල අධ්‍යයනය කරමින් සිටින අතර, අනතුරුව එය පක්ෂ නායකයින් වෙත යොමුකර ඉදිරියේදී අවශ්‍ය නම් නීතිපතිවරයා වෙතද යොමුකර උපදෙස් ලබා ගැනීමට නියමිතයි.
පසුගිය වසරේ නොවැම්බර් මස 15,16 සහ 17 යන දිනවලදි මෙම ගැටුම්කාරි තත්ත්වය ඇති වූ අතර, ඒ පිළිබඳව විමර්ශණය කිරිමට කථානායක කරු ජයසුරිය මෙම කමිටුව පත් කරනු ලැබුවා.
නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි එහි සභාපතිත්වය දරනවා. එම කමිටුව මාසයකට අධික කාලයක් විඩියෝ දර්ශණ සහ සාක්ෂි උපයෝගි කරගනිමින් සකස් කළ වාර්තාව පසුගිය අඟහරුවාදා කථානායකවරයා වෙත භාරදුන්නා.