Gossips

වී මිලදීගන්න වෙන් කළ මුදල් ප්‍රමාණවත් නැතැයි ගොවීන්ගෙන් චෝදනා

මහ කන්නයේ අස්වනු නෙලීම ආරම්භ කිරීමත් සමඟ තමන්ගෙන් මිලදී ගන්නා වී සඳහා රජය නියම කර ඇති සහතික මිල ප්‍රමාණවත් නොවන බවට ගොවීන් පවසනවා.
මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රජය රුපියල් මිලියන 6100 ක මුදලක් වෙන් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
ප්‍රමිතියෙන් යුත් නාඩු වී කිලෝවක් රුපියල් 38 කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 41කටත් වී අලෙවි මණ්ඩලය හරහා මිලදී ගැනීමටයි රජය තීරණය කර ඇත්තේ.
2015 මහ කන්නයෙන් පසු වැඩිම වී අස්වැන්න මෙවර අපේක්ෂා කරන අතර ටොන් මිලියන 3යි දශම 2ක් මෙවර අපේක්ෂා කරනවා.
2015 මහ කන්නයේදී නෙලා ගත් අස්වැන්නේ ප්‍රමාණය ටොන් මිලියන 2යි දශම 99ක්.
අම්පාර දිස්ත්‍රික්කයේ මහ කන්නයේ වී අස්වනු නෙලීම මේ වනවිටත් ආරම්භ වී ඇති බැවින් නිසි ක්‍රමවේදයකින් වී මිලදී ගන්නා ලෙසයි කෘෂිකර්ම අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.
එහිදී ගොවියෙකුගෙන් වී කිලෝ 2,000 ක් පමණ මිලදී ගැනීමට රජය අපේක්ෂා කරනවා. අනුරාධපුර, අම්පාර, මඩකලපුව යන දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළමින් සිටින අතර, හම්බන්තොට දිස්ත්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානය රජයෙන් ඉල්ලා සිටින්නේ වී කිලෝවක් සඳහා රුපියල් 50 ක උපරිම මිලක් නියම කරන ලෙසටයි.