Gossips

අද සිදුකළ නව කැබිනට් සංශෝධනය (ඡායාරූප)

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් වත්මන් රජයේ දෙවන අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද(25) පෙරවරුවේ සිදු කෙරුණා.
අද(25) සිදුකළ අමාත්‍ය සංශෝධනයට අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දී තිබෙනවා.
ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය වරයා ලෙස දිවුරුම් දී ඇති අතර, ඔහු මීට පෙර දැරූ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ධුරයේ දිවුරුම් දී ඇත්තේ කබීර් හෂීම් අමාත්‍යවරයායි.
මේ අතර තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා ලෙස සාගල රත්නායක දිවුරුම් දී ඇති අතර ඔහුගේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පියසේන ගමගේ දිවුරුම් දී තිබෙනවා.
මීට අමතරව තලතා අතුකෝරල විසින් මීට පෙර දැරූ විදේශ රැකියා අමාත්‍ය ධුරය ද සමග ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු දිවුරුම් දී තිබෙනවා.
මෙතෙක් රාජ්‍ය අමාත්‍ය ධුරයක් දැරූ රවීන්ද්‍ර සමරවීර වනජිවී හා තිරසර සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා.
මේ අතර බන්ධනාගාර හා පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත්තේ අජිත් පී පෙරේරායි.
ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස හර්ෂ ද සිල්වා දිවුරුම් දී ඇති අතර, මින් පෙර අමාත්‍ය ධුරයක් නොදැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.