Gossips

කටානේදී පොලිස් ගිනි අවියක් පත්තු වෙයි

කටාන – හරිස්චන්ද්‍රපුර දී පැමිණිල්ලක් විභාග කිරීමට පැමිණි පොලිස් නිලධාරියෙකුට පහර දී ඔහුගේ ගිනි අවිය උදුරා ගැනීමට තැත් කළ පුද්ගලයෙකු එම ගිනි අවිය පත්තු වී වෙඩි වැදී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ (22) පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර, පොලිස් කොස්තාපල්වරයා ද තුවාල ලබා එම රෝහලේම ප්‍රතිකාර ලබන බවයි.
ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත එම ස්ථානයට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගොස් තිබෙනවා.
එහිදී සැකකරුගේ ඥාති පුද්ගලයෙකු විසින් බීමත්ව කලහකාරී ලෙස හැසිරෙමින් එක් නිලධාරියෙකුට පොල්ලකින් පහර දී ඔහු සතු පිස්තෝලය උදුරා ගැනීමට තැත් කර තිබෙනවා.
එහිදී එම ගිනි අවිය පත්තු වී කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයාගේ දකුණු අතට වෙඩි වැදී තුවාල ලබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
මේ අතර, පසුගිය වසරේ නොවැම්බර් මස ජාඇල – දුම්රියපොළ පාර ප්‍රදේශයේ සිදුවූ රන් භාණ්ඩ කොල්ලයකට සහ එම වසරේම දෙසැම්බර් මස අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ භූමිය ඉදිරිපිට දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධීන්වලට සම්බන්ධ සැකකරුවෙකු සහ ඔහුගේ බිරිඳ ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශය විසින් සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 220ක් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යානය සඳහන් කළේ.
මොහු දැනට දරුණු ගණයේ අපරාධකරුවෙකු වන වැල්ලේ සුරංගගේ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය බෙදා හරින ප්‍රධානතම ගෝලයා බවට ද කරුණු අනාවරණ වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු 29 හැවිරිදි වත්තල – ප්‍රීතිපුර ප්‍රදේශයේ පදිංචි නාලක දිලීප් හෙවත් ආමි නාලක ලෙස හඳුන්වන අතර, සැකකාරිය 26 හැවිරිදි වියේ පසුවනවා.
ජා-ඇල දුම්රියපොල පාර ප්‍රදේශයේ පිහිටි රන් භාණ්ඩ අලෙවිසැලකට ආයුධ සන්නද්ධව යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් තුන්දෙනෙකු එහි තිබූ රුපියල් හය ලක්ෂයක් පමණ වටිනා රන් භාණ්ඩ කොල්ලකා පලාගොස් තිබුණේ පසුගිය වසරේ නොවැම්බර් මස 27 වන දායි.
වෙළදසැලේ සේවකයින්ට ගිනි අවියක් සහ පිහියක් පෙන්වා මෙම කොල්ලය සිදුකර තිබූ අතර එහිදී කොල්ලකරුවන් වෙඩි ප්‍රහාරයක් ද එල්ල කර තිබූ නමුත් ඉන් කිසිවෙකුටත් තුවාල සිදුවූයේ නැහැ.
එමෙන්ම අලුත්කඩේ උසාවිය ඉදිරිපිට දී වැල්ලේ සාරංග නැමති පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කර තිබුණේ පසුගිය වසරේ දෙසැම්බර් මස 28 වන දායි.