සේනා දළඹුවා මැඩලීම සඳහා යුද්ධයකට මුහුණදෙන ආකාරයේ සමාන කැපවීමකින් සහ කාර්යක්ෂමව කටයුතු කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා.
එමෙන්ම ඒ සඳහා යම් කාල රාමුවක් නිර්ණය කර ගනිමින් ජාතික වැඩසටහනක් ක්‍රියාවට නංවන ලෙසට සහ රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සහය ඇතිව ඒකාබද්ධ පළිබෝධ නාශක ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීමටයි ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම උපදෙස් ලබා දී ඇත්තේ සේනා දළඹු විශේෂය ව්‍යාප්තවීම හේතුවෙන් කෘෂිකර්මාන්තයට එල්ල වී ඇති තර්ජනයට මුහුණදීම සඳහා ගතයුතු හදිසි පියවර පිළිබඳ සොයා බැලීමට අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.
පවතින තත්ත්වය පාලනය කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව ජනාධිපති කාර්ය සාධන බළකායක් ද පිහිටුවීමට පියවර ගෙන තිබෙනවා.
එම බලකාය නිතිපතා රැස්වෙමින් මෙම හදිසි උවදුර මැඩලීමට කඩිනම් තීන්දු තීරණවලට එළැඹීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
එමෙන්ම මෙම ජනාධිපති කාර්ය සාධක බළකායේ කටයුතු සම්බන්ධීකරණය වෙනුවෙන් මහවැලි නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම සහ ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙකු මෙන්ම වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙකු එම බලකායට ඇතුළත් කර ගැනීමට ද මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබාදී තිබෙනවා.
රාජ්‍ය සහ පෞද්ගලික ක්ෂේත්රයේ කෘෂි පර්යේෂණ අංශවල සහ ක්ෂේත්‍ර නිලධාරින්ගේ සහභාගිත්වයෙන් සේනා දළඹු උවදුර මැඩලීම පිළිබඳ ගොවි සංවිධාන හා ගොවි ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට ද ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන්නා.