Gossips

වී වගාවටත් සේනා රිංගයි

සේනා දළඹුවා වී වගාවට හානි කිරීමේ සිද්ධීන් කිහිපයක් මේ වන විට වාර්තා වී ඇති බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය විජේසිරි වීරකෝන් ප්‍රකාශ කළා.
දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ වී වගාවට මෙම දළඹුවා හානි කර ඇති බවට මුලින්ම වාර්තා වූ අතර, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මැදිහත් වී මේ වන විට එම තත්ත්වය පාලනය කර ඇති බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.
බඩ ඉරිඟු වගාවට හානි කිරීමෙන් ආරම්භ කෙරුණු මෙම දළඹුවා වී වගාවට අමතරව මේ වන විට තක්කාලි, කුරක්කන්, ඇපල ශාකවලින් සොයාගෙන තිබෙනවා.
බඩ ඉරිඟු වගාවේ අස්වැන්න නෙළන සමය ආරම්භ වී ඇති බැවින් දළඹුවා තවත් භෝග වෙත ඉදිරියේදී ව්‍යාප්ත විය හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අදහසයි.
මේ අතර, අපනයන භෝගයක් වන ඉඟුරු වගාවේ ද සේනා දළඹුවා වාර්තා වී ඇති බැවින් ඒ පිළිබදව ගොවීන් සැලකිලිමත් වන ලෙස අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල් ඒ.පී. හීන්කෙන්ද කියා සිටියේ ඉඟුරු අස්වැන්න ලබා ගත් වහාම එම පැලෑටි සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට පියවර ගත යුතු බවයි.
මේ අතර, සේනා දළඹුවන් බෝ වූ බඩ ඉරිඟු ගස් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් නාවුල පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා.
පොළොන්නරුව – ඇලහැර – බකමූණ සහ ගිරිතලේ යන ප්‍රදේශවලින් කපා ඉවත් කළ මෙම බඩ ඉරිඟු ගස් මාතලේ පිහිටි ගොවිපළකට ප්‍රවාහනය කරමින් තිබී ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
එම බඩ ඉරිඟු ගස් තොගය වහාම විනාශ කිරීමට කටයුතු කරන ලෙස දඹුල්ල මහනගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත උපදෙස් ලබාදී තිබෙනවා.