Gossips

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට සිතාසි නැහැ – ලන්ඩනයට ඉදිරිපත් නොකරන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

පසුගිය වසරේ නිදහස් දිනය දා ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල පරිශ්‍රයේදී එල්.ටී.ටී.ඊ හිතවාදීන්ට තර්ජනාත්මක සංඥාවක් කළ බවට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය මඟින් වරදකරු කර ඇති බවට වාර්තා වනවා.
ඒ බව ටැමිල් ගාඩියන් ඇතුළු දෙමළ වෙබ් අඩවි මෙන්ම දෙමළ ඩයස්පෝරාව වෙනුවෙන් නඩුව ඉදිරිපත් කළ පබ්ලික් ඉන්ට්‍රස්ට් ලෝ සෙන්ටර් නැමැති රාජ්‍ය නොවන සංවිධානය ද ප්‍රකාශ කළා.
එමගින් කියා සිටියේ බ්‍රිගේඩියර්වරයා බ්‍රිතාන්‍ය සමාජයේ නීතිය හා සාමය සුරැකීමට අදාළ පනත යටතේ ඔහුට එරෙහිව නඩුව ක්‍රියාත්මක වූ බවයි.
ඒ සඳහා බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට මෙරට විදේශ අමාත්‍යාංශය හරහා සිතාසි යැවූ බව ද එම නීති ආධාරක ආයතනය කියා සිටියා.
කෙසේ නමුත් අප මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු කියා සිටියේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වෙත එවැනි සිතාසි ලබාදීමක් කිසිසේත් සිදුවී නොමැති බවයි.
එමෙන්ම රාජකාරී කටයුත්තක නිරත වූ ඔහු කිසිසේත්ම බ්‍රිතාන්‍යයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා නොකරන බව ද ඔහු අවධාරණය කළා.