Gossips

පාර්ලිමේන්තු ගැටුමේ වාර්තාව අද කථානායකට

පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුමේ විමර්ශන කමිටු වාර්තාව අද (22) කථානායකවරයාට භාරදෙන බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි පවසනවා.
ඉන් අනතුරුව එම වාර්තාව කථානායකවරයා විසින් නීතිපතිවරයා වෙත යොමු කිරීමට නියමිතයි.
එහිදී ගැටුමට සම්බන්ධ මන්ත්‍රීවරුන්ට එරෙහිව නඩු පැවරීමක් සිදුකළ හැකිද යන්න සම්බන්ධයෙන් කථානායකවරයා නීතිපතිවරයාගෙන් කරුණු විමසනු ඇති.
ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් මෙම මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව කථානායකවරයා දැනුවත් කිරීමෙන් පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර යෝජනා සම්මත කිරීමක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.
පසුගිය නොවැම්බර් මස 15,16 සහ 17 යන දිනවලදි පාර්ලිමේන්තුවේ ඇතිවු නොසන්සුන්කාරි සිද්ධීන් පිළිබඳ විමර්ශනය කිරිමට කථානායක කරු ජයසුරිය විසින් කමිටුවක් පත් කරනු ලැබුවා.
නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරිගේ සභාපතිත්වයෙන් පත් කළ මෙම කමිටුව ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මන්තීී‍්‍රන්ගෙන් සමන්විත වුණා.
එම කමිටුව මෙම වාර්තාව සකස් කර ඇත්තේ මාසයකට අධික කාලයක් අධ්‍යයනය කළ විඩියෝ දර්ශන සහ සාක්ෂි උපයෝගි කරගනිමින්.
මේ අතර, ජනාධිපති කොමිෂන් සභා මගින් සිදුකෙරෙන විමර්ශන වාර්තා අනුව යළි විමර්ශනයක් සිදු කිරීමකින් අනතුරුව නඩු පැවරීමේ බලතල අල්ලස් කොමිසමට පැවරෙන පනත් කෙටුම්පතක් අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙනවා.
මෙම පනත් කෙටුම්පත පසුගිය මැයි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර, ඔක්තෝම්බර් මාසයේදී මුල්වරට විවාදයට ගැනුනා.
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කිසියම් පාර්ශවයක් විසින් ඡන්ද විමසීමක් ඉල්ලා සිටියහොත් එවැන්නක් විමසා බැලීමද සිදුවනු ඇති බවයි.
එමෙන්ම, කෝප් කමිටුවේ නව සභාපතිවරයා පත් කර ගැනීම ද අද පස්වරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.