Gossips

‘‘සේනා’’, වී වගාවටත් පැතිරීමේ අවදානමක්

සේනා දළඹුවාගෙන් වී වගාවටද බලපෑම් එල්ල වීමේ ඉඩකඩක් පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ හේතුවෙන් විශ්වවිද්‍යාලවල කෘෂිකර්ම පීඨවල ඉගෙනුම ලබන ශිෂ්‍යයන්ද වගා බිම් නිරීක්ෂණවල යෙදවීමට කටයුතු කරන බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්. වීරකෝන් කියා සිටියේ.
මේ වනවිට සේනා දළඹුවා මෙරට සියලූම දිස්ත්‍රික්කවල බඩඉරිඟු වගා ආක්‍රමණය කර ඇති අතර, හෙක්ටයාර් 81,000 කින් 48,000 කම එම උවදුර පැතිර අවසන්.
පසුගිය ඔක්තෝම්බර් මාසයේදී මෙරටින් මුල් වරට සේනා දළඹුවා අම්පාර දිස්ත්‍රික්කයෙන් හමුවූ අතර, ඉන්පසු, මෙම දළඹුවා මඩකලපුව, පොළොන්නරුව, අනුරාධපුර, මොනරාගල, යන දිස්ත්‍රික්කවල සීඝ්‍රයෙන් ව්‍යාප්ත වුණා.
ඊයේ දිනයේදී නුවරඑළිය සහ යාපනය දිස්ත්‍රික්කවලින් ද සේනා දළඹුවා පිළිබඳව වාර්තා වුණා.
මේ අතර, සේනා දළඹු උවදුර සොයා බැලීම සඳහා විශේෂ අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කර ඇති බවයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක සඳහන් කළේ.