Gossips

ක්‍රීඩා කරවන බලධාරීන්ගේ මුනිවත රැකීම

වසර දෙක හමාරක පමණ කාලයක සිට බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමය යටතේ පැවති දකුණු පාලාත් ක්‍රිකට් සංගමයේ පරිපාලන කටයුතු කුමාර හැලඹගේ මහතාගේ සභාපතිත්වයෙන් යුත් සය පුද්ගල කමිටුවක් වෙත පවරන ලෙසට ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් චුලානන්ද පෙරේරා මහතා පසුගිය 14 වනදා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඇෂ්ලි ද සිල්වා මහතාට නියෝග කරනවා.
ඒ දකුණු පළාත් ක්‍රිකට් සංගමයේ නිලවරණය පවත්වා නිලධාරි මණ්ඩලයක් පත්කර ගන්නා තුරුයි.
නමුත් සුපුරුදු පරිදිම ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා මෙවරත් එම නියෝගය ඉටු කිරීම මේවන තුරු පැහැර හැර තිබෙනවා.
ඔහු මෙසේ කටයුතුකළ පළමු අවස්ථාවද මෙය නොවේ.
හිටපු ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා නිකුත් කළ මෙවැනිම නියෝගයක් සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියා අනුගමනය කළේ මෙවැනි හිතුවක්කාරී පිළිවෙතක්.
හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරිවරයාට එවර නියෝග කර සිටියේ එංගලන්තය සමග පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිට ක්‍රියාත්මක වන පරිදි දකුණු පළාත් ක්‍රිකට් පරිපාලනය තමන් විසින් නම් කරන ලද කමිටුවට පවරන ලෙසයි.
නමුත් එම අවස්ථාවේද ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරිවරයා එම නියෝගය කුණු කූඩයට විසි කළා.
ඉන් නොනැවතුණු ඔහු ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට අනුබද්ධව සේවය කළ හිටපු ක්‍රිකට් පරිපාලනයේ ගිලටීනයට හසුවූ සේවකයින් තිදෙනා සම්බන්ධයෙන් ද හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ලබාදුන් නියෝග හිතාමතා නොසලකා හැරියා.
ඒ ඔවුන්ට තවදුරටත් සිය රැකියා අවස්ථාව අහිමි කරමින්.
නමට පමණක් නිසි බලධරයෙක් සිටියද අද වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය මෙහෙය වන්නේ හිටපු පරිපාලනයේ බහුතරයකින් සමන්විත බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමය බව සැවොම දන්නා රහසක්.
එවන් තත්වයක් තුළ කනගාටුවට කරුණ වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරිවරයාට සිතැගි පරිදි නටන්නට ඉඩහැර මෙරට ක්‍රීඩාව කරවන බලධාරීන් මුනිවත රැකීමයි.