Gossips

හබරනදී ඝාතනය කෙරුණු පුද්ගල මළ සිරුරක් ගොඩගනී

හබරන – පලූගස්වැවදී පුද්ගලයෙකු ඝාතනය කර වළදැමීමේ සිද්ධියට හේතුවී ඇත්තේ පෞද්ගලික ආරවුලක් මත ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාම බව පොලීසිය පවසනවා.
එමෙන්ම, වෙඩි තැබීම සිදුකර ඇත්තේ අත්අඩංගුවට ගත් හිමිනම විසින් බවට පරීක්ෂණවලදී හෙළි වී ඇති බවයි පොලීසිය සදහන් කළේ.
පොලීසියට ලද තොරතුරක් මත හබරන – පලූගස්වැව – උල්පත්ගම ප්‍රදේශයේ ඝාතනය කර වළදමා තිබූ පුද්ගලයෙකුගේ සිරුරක් අද ගොඩ ගත්තා.
ඒ කැකිරාව මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිටදීයි.
මූලික පරීක්ෂණවලදී හෙළි වූයේ මෙම මළ සිරුර මීට දින දෙකකට ඉහතදී අතුරුදන් වූ උල්පත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ බවටයි.
පසුව, සිද්ධිය සම්බන්ධයෙන් හිමිනමක් ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
අත්අඩංගුවට ගත් හිමිනමට අයත් වෙල් යායක් විහාරස්ථානය ආසන්නයේ තිබෙන අතර, හිමිනම සහ තවත් දෙදෙනෙකු එහි වගා ආරක්ෂාවේ නිරතව සිටියදී මියගිය පුද්ගලයා බීමතින් පැමිණ එම ස්ථානයේ සිටි අයෙකු සමග ආරවුලක් ඇති කරගෙන තිබෙනවා.
එය ගැටුමක් දක්වා වර්ධනය වී ඇති අතර එම අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය පුද්ගලයාගේ මළ සිරුර අසල වන ලැහැබකට රැගෙන ගොස් ඇළ මාර්ගයක් ආසන්නයේ වළදමා ඇත්තේ ඉන් අනතුරුවයි.
අත්අඩංගුවට ගත් හිමිනම ඇතුළු සැකකරුවන් තුන්දෙනා කැකිරාව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර මියගිය පුද්ගලයාගේ දේහය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය හෙට සිදුකිරීමට නියමිතයි.
මේ අතර, මාතර – කඹුරුපිටිය – රන්සෑගොඩ ප්‍රදේශයේදී සිය බිරිඳට තියුණු ආයුධයකින් පහරදුන් පුද්ගලයෙකු ගිනි තබාගෙන සිය දිවි හානිකරගෙන තිබෙනවා.
අද පස්වරුවේ දෙදෙනා අතර ආරවුලක් හට ගෙන ඇති අතර, ඉන් අනතුරුවයි මෙය සිදුව ඇත්තේ.