Gossips

වනාතවිල්ලුවේ සිද්ධියට අත්අඩංගුවට ගත් පුද්ගලයින් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

පුපුරණ ද්‍රව්‍ය සහ ඩෙටනේටර් තොගයක් සමග අත්අඩංගුවට ගත් වනාතවිල්ලුව ගොවිපළේ හිමිකරු ඇතුළු සිව් දෙනා දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණයෙන් අවසර දී තිබෙනවා.
ඊයේ මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ බුද්ධ ප්‍රතිමාවලට හානි කිරීමේ සිද්ධීන් පිළිබදව සිදුකෙරෙන පරීක්ෂණ කටයුත්තක් සඳහා පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක්.
පසුව, ගොවිපළේ වළදමා තිබූ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 කට ආසන්න ප්‍රමාණයක් සහ ඩෙටනේටර් 100කට වැඩි ප්‍රමාණයක් සොයා ගනු ලැබුවා.
මේ අතර, පුපුරණ ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් වන වැඩිදුර විමර්ශන සඳහා විශේෂඥයන් පිරිසක් අද වනාතවිල්ලූව ප්‍රදේශයට ගොස් තිබෙනවා.
කණ්ඩායම් 3ක් සිද්ධිය පිළිබද විමර්ශන සිදුකරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එසේම, හෙළ බොදු සවිය සංවිධානය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් අද ඉල්ලා සිටියේ මෙම සිදුවීම්වලට සම්බන්ධ කල්ලිය පිළිබදව පුළුල් පරීක්ෂණයක් සිදුකිරීමට වහා අවදානය යොමු කරන ලෙසයි.