Gossips

ශ්‍රී දේවිගේ අභාවය ගැන ඉන්දීය අගමැති සහ ජනපති සොව පළ කරයි

ප්‍රවීන බොලිවුඩ් සිනමා නිළි ශ්‍රීදේවිගේ හදිසි වියෝවෙන් සමස්ත ඉන්දියාවම දැඩි කම්පාවට පත්වී තිබෙනවා.
හින්දි සිනමාවේ ප්‍රථම සුපිරි තාරකාව ලෙස සැළකෙන ප්‍රවීන බොලිවුඞ් සිනමා නිළි ශ්‍රීදේවි වයස අවුරුදු 54 ක්ව සිටියදී ඩුබායි හිදී ඊයේ (24) අභාවප්‍රාප්ත වුණා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී දේවිගේ අභාවය පිළිබඳව ශෝකය පළ කරමින් කියා සිටියේ ඇගේ රංගනයන් සදාතනිකව රසික හදවත් තුළ රැඳී පවතින බවයි.
ශ්‍රී දේවිගේ වියෝවෙන් මිලියන සංඛ්‍යාත සිනමා රසිකයන්ගේ හදවත් කම්පනයට පත්වී ඇති බව ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.
මූන්ද්‍රම් පිරායි, ලම්හේ සහ ඉංග්ලිෂ් – විග්ලිෂ් වැනි චිත්‍රපටවල ඇගේ රංගනය අනෙකුත් සිනමා නළු නිලියන්ටද ආදර්ශයක් බව ඔහු සඳහන් කළා.
හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ශ්‍රීදේවී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් පුවත් සේවා සඳහන් කළේ.
ඩුබායි රාජ්‍යයේ මංගල උත්සවයකට සහභාගී වීමට ගොස් සිටියදී ඇය රෝගී වී ඇතැයි සඳහන්.
වයස අවුරුදු 4 දී චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිසි ශ්‍රී දේවී දෙමළ, තෙලිගු, මලයාලම් මෙන්ම හින්දි චිත්‍රපටවලට රංගනයෙන් දායක වී තිබෙනවා.
මියයන විට ඇයගේ වයස අවුරුදු 54 ක්.
නලුවෙකුගේ සහයෝගයකින් තොරව ඉන්දීය සිනමාවේ බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙලීමට හැකියාවක් ලැබුනු බොලිවුඩ් තාරකාවන් කිහිපදෙනා අතරින් අයෙක් ලෙසට ද ශ්‍රී දේවී සැලකෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඇය ඩුබායි රාජ්‍යයේදී ජීවිතක්ෂයට පත්වන විට සැමියා වන බොනී කපුර් සහ දියණිය කුෂි ද ඇය සමග සිටි බවයි.
1978 වසරේදී ප්‍රධාන නිලියකගේ චරිතයකට රංගනයෙන් දායක වෙමින් සිනමාවට පිවිසි ශ්‍රී දේවී ඉන්දියාවේ සිනමාවේ දැවැන්තයන් අතරට පත්වීමට වැඩි කාලයක් ගතවුයේ නැහැ.
තම සිනමා දිවිය තුල ඇය රංගනයෙන් දායක වී ඇති චිත්‍රපට සංඛ්‍යාව 150 කට අධිකයි.
Mr India, Chandni, ChaalBaaz, Sadma යනු ශ්‍රී දේවි රංගනයෙන් දායක වු ඉතා ජනප්‍රියත්වයට පත්වූ චිත්‍රපට කිහිපයක්.
1997 වසරේ තිරගත වූ Judaai චිත්‍රපටයෙන් පසු ශ්‍රී දේවී රංගනයෙන් ඉවත්ව සිටිනවා.
කෙසේවෙතත් යළිත් 2012 වසරේදී යළිත් රිදී තිරය වර්ණවත් කරමින් English Vinglish චිත්‍රපටයට රංගනයෙන් එක්වුනා.
ඉන්දීය රජය විසින් ලබාදෙන ඉහළම සම්මානයක් වන පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබීමට ද 2013 වසරේදී ශ්‍රී දේවී වාසනාවන්ත වුනා.
ශ්‍රීදේවිගේ හදිසි අභාවය ගැන දැනගත් වහාම ඉන්දීය සිනමා රසිකයන් මුම්බායි හි පිහිටි ඇගේ නිවස වෙත රොක්වෙමින් සිටින බව වාර්තාවනවා.
ඇය, ආසියානු මාධ්‍ය ජාලය – කොළඹ නෙළුම් පොකුණ රඟහලේ සංවිධාන කළ හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් සිනමා සම්මාන උළෙලටද සහභාගි වුණා.