Gossips

ට්‍රම්ප් ඇමරිකානු මිසයිල ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීමට සැරසෙයි

ඇමරිකාවට එල්ල කෙරෙන ඕනෑම සතුරු මිසයිලයක් ගුවනේදීම විනාශ කර දැමිය හැකි අන්දමින් එරට මිසයිල ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
මිසයිල ආරක්ෂණ පද්ධතිය ඇගයීමට ලක් කිරීමේ එම යෝජනාව ජනපති ට්‍රම්ප් නිරාවරණය කළේ පෙන්ටගනය අමතමින්.
එහිදී ඇමරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ විශේෂයෙන් චීනය සහ රුසියාව නිර්මාණය කර ඇති නව හයිපර්සොනික් මිසයිල සාම්ප්‍රදායික ආරක්ෂණ පද්ධතිවලින් වළකාලීම දුෂ්කර බවයි.
මේ නිසා කෲස් සහ හයිපර්සොනික් මිසයිල පවා ඉලක්ක කර ගත හැකි අන්දමින් මිසයිල ආරක්ෂණ පද්ධතිය වැඩිදියුණු කළ යුතු බවයි ඔහු අවධාරණය කළේ.
පැයට කිලෝමීටර් 33,000 ක වේගයෙන් ගමන් කළ හැකි නව හයිපර්සොනික් මිසයිලයක් නිර්මාණය කළ බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පසුගිය මාසයේ ප්‍රකාශ කළා.
එය කිසිවෙකුට වැළැක්විය නොහැකි මිසයිලයක් ලෙසයි ඔහු හැදින්වූයේ.
කෙසේ නමුත්, ජනපති ට්‍රම්ප් පෙන්ටගනය අමතා සිදුකළ කතාවේදී රුසියාව හෝ උතුරු කොරියාව සිහිපත් කළේ නැහැ.
මිසයිල ආරක්ෂණ පද්ධතිය ඇගයීම යටතේ නව තාක්ෂණ උපක්‍රම ද අත්හදා බැලෙනවා.
1980 දශකයේ හිටපු ජනාධිපති රොනල්ඞ් රේගන් ඉදිරිපත් කළ අභ්‍යවකාශයේ රැදවූ ආරක්ෂණ පද්ධතියකින් මිසයිල බිම හෙලීමේ ස්ටාර් වෝස් වැඩසටහනද ඊට ඇතුළත්.