Gossips

ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනයට හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු ජර්මනියේදී අත්අඩංගුවට

2005 වසරේදී එවකට ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයාව සිටි ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය කිරීමට සම්බන්ධ බවට සැලකෙන හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු ජර්මන් බලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජර්මානු මධ්‍යම නීතිපති කාර්යාලය සදහන් කළේ නවනීදන් ජී. නමැති මෙම 39 හැවිරිදි සැකකරු නිරිත දිග ජර්මනියේ ඔහුගේ නිවස පරීක්ෂා කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවයි.
පෞද්ගලික අයිතිය පිළිබද ජර්මානු නීතිය අනුව, සැකකරුවෙකුගේ වුව ද, වාසගම ප්‍රසිද්ධියට පත් කෙරෙන්නේ නැහැ.
ඒ අනුවයි ඔහු නවනීදන් ජී. ලෙස පමණක් හදුන්වා ඇත්තේ.
විදේශීය ත්‍රස්තවාදී සංවිධානයක සාමාජිකයෙකු වීම, මනුෂ්‍ය ඝාතනය සහ ඒ සදහා තැත් කිරීම ඔහුට එරෙහිව එල්ල කර ඇති චෝදනා වනවා.
ජර්මානු නීතිපති කාර්යාලය වැඩිදුරටත් සදහන් කළේ මෙම සැකකරු 2005 වසරේ අගෝස්තු මාසයේදී හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය සදහා සහභාගි වූ රහසිගත එල්.ටී.ටී.ඊ කල්ලියේ සාමාජිකයෙකු බවයි.
එමෙන්ම ඔහු ඊ.පී.ඞී.පී සංවිධානයේ නායක ඩග්ලන් දේවානන්දා ඝාතනය කිරීම සදහා ද උත්සාහ දැරූ බවට චෝදනා එල්ල වී තිබෙනවා.
කෙසේ නමුත් මෙම සැකකරු කොපමණ කලක් ජර්මනියේ රැදී සිටියේ ද යන්න එරට බලධාරින් හෙළිදරව් කර නොමැති බවයි ඒ පිළිබද වාර්තාවක් ගෙන එන ඇසෝසියේටඞ් ප්‍රෙස් ප්‍රවෘත්ති සේවාව සදහන් කළේ.